කොයි කවුරුත් දෙමාපියන් දරුවන්ගේ ඉගෙනීම ගැන දක්වන්නේ විශේෂ සැලකිල්ලක්. මව්පියන්ගේ අධ්‍යාපන මට්ටම කොයි ආකාරයේ වුවත්, සෑම මවකගේම පියෙකුගේම එකම පැතුම වන්නේ තම දරුවාට උසස් අධ්‍යාපනයක් ලබා දීමයි. එවැනි අරමුණකට යන ගමනේ මව්පියන් නොදැනුවත්වම දරුවා පීඩාවට පත්වන තැන් බොහොමයක් තිබිය හැකියි. අන්න ඒ නිසාම පීඩාවකින්, ආතතියකින් තොරව දරුවෙක් විභාගයකට සූදානම් කළ යුත්තේ කෙසේද කියා අපි සොයා බලමු.
මූලිකවම විභාගයට සූදානම් වන දරුවාගේ වටපිටාව, නිදහස පිරුණු සුවබර වටපිටාවක් විය යුතුමය. එවිට දරුවෙක් ශාරීරිකව වගේම මානසිකවත් නිදහසින් තම පාඩම් වෙත යොමු වෙනවා. එසේම මව්පියන් වටහා ගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ පාඩම් කිරීමේ හැකියාව මෙන්ම ප්‍රමාණය දරුවාගෙන් දරුවාට වෙනස් වන බවයි.
පාඩම් කිරීමේ හැකියාව රඳා පවතින කරුණු
- දරුවාගේ පෞරුෂත්වය
- දරුවාගේ අවධානය යොමු කිරීමේ සහ මතක තබා ගැනීමේ ප්‍රමාණය සහ හැකියාව
- පාඩම් කිරීමට යොමු වන කාලය (උදෑසන පාඩම් කිරීම එක් දරුවෙකුට සාර්ථක වුවත් තවත් දරුවෙකුට අසාර්ථක විය හැකිය)
විභාගයට සූදානම් වන ඔබේ දරුවාට මේ කරුණු පැහැදිලි කරන්න
පන්තියේදී සාවධානව අසා සිටින්න
පාසැලේ ඉගෙනුම ලබන විට සාවධානව අසා සිටින්න. අපැහැදිලි තැන් වේ නම්, ගුරුවරයාගෙන් හෝ යහළුවන් සමග සාකච්ඡා කොට නිරවුල් කරගන්න.
නැවත නැවත පාඩම් කරන්න
එදිනම තවත් එක් වරක් හෝ පාඩම කියවා බලන්න. නැවත නැවත පාඩම කියවා, දිගු කාලීන මතකයට පාඩම ඇතුළත් කරගන්න. එනම්, සවන්දීම, ලිවීම සහ කියවීම යන ක්‍රම තුන යටතේම පාඩම අධ්‍යයනය කිරීම තුළින් දිගු කාලීනව මතකයේ රඳවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. අදාළ පාඩම රූප සටහනක් තුළට ගොනු කිරීමෙන් අවශ්‍ය කරුණු මතකයේ රඳවා ගැනීමට ලැබෙන හැකියාව ඉහළ යයි. අනවශ්‍ය ලෙස අමතර පන්ති වෙත යොමු නොවී, විෂය කරුණු නැවත නැවත පාඩම් කිරීමට ඇති කාලය ආරක්ෂා කරගන්න.
කාල සටහනකට යොමු වන්න
කාල සටහනකට යොමු වන්න. එමගින් කාලය මනාව කළමනාකරණය කරගත හැකි අතරම, කාලය නිකරුණේ ගත නොවීම නිසා සතුටින් තම අධ්‍යයන කටයුතු වෙත නැඹුරු විය හැකියි. එමගින් සෑම විෂයකටම සමාන කාලයක් ලැබෙනවා මෙන්ම, මානසික පීඩනය අවම වී මනස නිදහස් වන අතරම, සිත එක අරමුණක පවත්වා මනා සේ පාඩම් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ඔබේ දරුවා විභාගයට යද්දී
- විභාගයට යන විට රැගෙන යා යුතු ද්‍රව්‍ය — එනම් පෑන්, පැන්සල් සහ අනෙක් ලියකියවිලි — කල් තියා සූදානම් කරගන්න.
- විභාගයට සැරසෙන ඔබේ දරුවාට පැය හයක පමණවත් සුව නින්දක් අත්‍යවශ්‍යයි.
- තම ආගම දහමට අනුව හෝ මුදු සංගීතයකට සවන් දීමෙන් සිත සංසුන්ව පවත්වා ගනිමින්, මතකය වගේම අවධානය රඳවා ගැනීමට උනන්දු වන්න.
කුමුදු ඒකනායක
නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍යා උපදේශිකා



