අධ්‍යාපනය

දරුවාට මනා ඉගෙනුම් පරිසරයක් ගොඩ නගන්නේ කෙසේද?

2025-03-05මිනිත්තු 7
How to Build a Good Learning Environment for Your Child

දෙමව්පියන් ලෙස ඔබේත් මගේත් මූලික අරමුණ දරුවන්ගේ අධ්‍යාපනයි. එය එසේ වුවත්, පාසැල හෝ ගුරුවරුන් වෙතින්ම සියයට සියයක් ලෙස අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, එය දරුවෙක් අධ්‍යාපනය අතින් ඉහළටම ගෙන යාමේ අරමුණෙන් ක්‍රියා කරන දෙමාපියන්ගේ එම අරමුණට ලඟා වීමට ඇති මුල්ම බාධකය බව කිව යුතුමයි. සෑම දරුවෙකුම විධිමත් අධ්‍යාපනයට යොමු වන තුරු ඉගෙනීම ආරම්භ කරන්නේ තම නිවසිනි. සෑම දරුවෙක්ම විධිමත් අධ්‍යාපනයට මූලික සුදුසුකම් ලබාගන්නේද තම නිවසිනි. බුදුදහමට අනුව ගත්තත්, දරුවෙකුගේ ප්‍රථම ආචාර්යවරු ලෙස හැඳින්වෙන්නේ දෙමාපියන් බව ඔබ අසා ඇති. පාසැලට පෙර දරුවෙකුට ජීවිතය පිළිබඳව අධ්‍යාපනය හිමි වන්නේ ඔවුන්ගෙනි. නමුත් ඒ, නිවස තුළ ඒ සඳහා සුදුසු පරිසරයක් තිබේ නම් පමණි.

දරුවෙකුට ඉගෙනුමට සුදුසු පරිසරයක් නිවස තුළ ගොඩ නැගීම දෙමාපිය වගකීමක් වන අතරම, එවැනි පරිසරයක ඇති දැඩි වන දරුවා නිතැතින්ම විධිමත් අධ්‍යාපනයට අනුගත වීමට පහසු මට්ටමේ දරුවෙකු වනු ඇත.

දෙමාපියන් ඉගෙනීමට සුදුසු පරිසරය සකස් කළ යුත්තේ ඇයි? එහි වටිනාකම කුමක්ද? එය සකස් කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳව දැනුවත් නම්, ඔබ ඔබේ දරුවා උපරිම අධ්‍යාපන තලයට ගෙන යන ඔබේ සිහිනය සැබෑ කරගත හැකි දෙමාපියන් වනු නියතය. අන්න ඒ නිසාම මේ සඳහා මූලිකවම දෙමාපියන්ට අවශ්‍යතාවයක් මෙන්ම කැපවීමක් අත්‍යවශ්‍යයි. තවද ඉගෙනුම් පරිසරය සකස් කිරීමේදී ඒ සඳහා දෙමාපියන් සමග දරුවන්ද එක් විය යුතුමය.

සැකසීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

  1. දරුවා ජීවත් වන භෞතික පරිසරය (නිවස, වටපිටාව වැනි කරුණු)
  2. දරුවා වටා වූ භෞතික දේ (දරුවාට ඇසට ගැටෙන දේ, ක්‍රියාකාරකම් සහ ඒවා තුළින් ලැබෙන ප්‍රයෝජන)
  3. දරුවා වටා සිටින පිරිස (දෙමාපියෝ, සහෝදර සහෝදරියෝ, ආච්චි/සීයා, නෑදෑයෝ, රැක බලා ගන්නන්)
  4. දරුවා සමග ඇති වන යහපත් අන්තර් පුද්ගල ක්‍රියාකාරකම් (වටපිටාව සහ පුද්ගලයන් සමග දරුවා ගොඩ නඟා ගන්නා ක්‍රියාකාරකම්)

ඔබේ දරුවාට මනා ඉගෙනුම් පරිසරයක් සකස් කර දෙන්නේ කෙසේද?

1. කොන්දේසි විරහිත ආදරය සහ අවධානය ලබා දෙන්න

ඔබේ දරුවා ඉගෙනීමේ දක්ෂයෙකු බවට පත් කිරීමට අධ්‍යාපනය ලබා දෙන අතරම, එහි අනෙක් ප්‍රතිඵලය වන්නේ සමාජයට යහපත් දරුවෙකු බිහි වීමයි. එනම් සමස්ත මානව වර්ගයාටම ආදරය, සෙනෙහස දක්වන පුරවැසියෙකු බිහි වීමයි. එවැනි අවසන් ප්‍රතිඵලයක් ලැබීමට නම් දරුවාට ආදරය, අවධානය, මානසික සතුට හා සහය ලබා දිය යුතුමය. එසේ නොවන්නට ඔබට ආදරණීය යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීමට නොහැකි වනු ඇත. ශික්ෂණය සහිතව හැදුණු දරුවෙකුට ඉගෙනීම ඉතා පහසු වනු ඇත.

2. මානසික සතුට සහ සහය සපයන්න

වැඩිහිටියන් ලෙස අපට ජීවිතයේ නැගීම් මෙන්ම බැසීම්වලට මුහුණ දීමට ශක්තිය තිබුණත්, දරුවෙකුට එය දරා ගැනීම අපහසුයි. ඒ නිසා දෙමාපියන් ලෙස අප එවැනි අවස්ථාවලදී දරුවා සමගම සිටිමින් ඔවුන්ට අවශ්‍ය ධෛර්යය, ශක්තිය ලබා දිය යුතු වේ. සාමාන්‍යයෙන් අද වන විට අප රට තුළ පවතින අධ්‍යාපන රටාව ගත් කළ, එය පුංචි මනසකට දරා ගත හැකි සීමාවෙන් ඔබ්බට ගොස් ඇති නිසාම, ඒ සඳහා සහය දරුවන්ට අපි නිතැතින්ම ලබා දිය යුතුයි. දරුවාගේ කුඩා මනසට ඉගෙනීමට ඇති ප්‍රමාණය විශාල නිසාම, දෙමාපියන් එය හඳුනා ගත යුතුයි. එවැනි වටපිටාවක දරුවෙකුට ඉගෙනුම් ක්‍රියාවලියේදී පසුපසට යාමට ඇති අවස්ථා වැඩි වන අතරම, ඉගෙනුම් හා සම්බන්ධ ගැටලු බොහෝ තිබිය හැකියි. දරුවෙකුට ඇතැම් විට ශාරීරික අපහසුතා මෙන්ම මානසිකව ඔවුන් සූදානම් නොවන අවස්ථාත් තිබිය හැකිය. එවැනි තත්ත්ව හඳුනාගෙන දරුවාට සහය වීම දෙමාපියන් වශයෙන් අපගේ යුතුකම බව අමතක නොකළ යුතුය. අලුත් දේවල් හඳුනා ගැනීම හා ඒවාට මුහුණ දෙන ආකාරය දරුවාගෙන් දරුවාට වෙනස් වන අතරම, ඔහු/ඇය මුහුණ දෙන ගැටලු සහගත තැන් හඳුනාගෙන දරුවාට සහය වීමට දෙමාපියන් උනන්දු විය යුතුමයි. ඒ තැන්වලදී දරුවාට අවශ්‍ය මානසික රැකවරණය ලබා දීමට දෙමාපියන් වශයෙන් ඔබට හැකි නම්, තවත් එක් මූලික කොන්දේසියක් සම්පූර්ණයි.

3. අත්දැකීම් ලබන්නට ඉඩ දෙන්න

දරුවාට දරුවාගේ ලෝකය අහන්න, දකින්න, විඳගන්න ඉඩ දෙන්න. මෙය උපතේ සිට වයස අවුරුදු 5 දක්වා සිදු විය යුතුමයි. දරුවන්ට උත්තේජන අත්දැකීම් ලබා ගන්න ඉඩ දිය යුතුයි. ඉගෙනීමට ඒ සියල්ල වැදගත්. යමක් අත ගා, රස/සුවඳ විඳ බලා, දැක, අසා, සංවේදනා හඳුනා ගැනීමට නම් දරුවා ඉගෙන ගත යුතුයි. දරුවෙකුගේ සංවේදන අත්දැකීම් දියුණු කිරීම ඉතා වැදගත් වනු ඇත.

නිවසක කොතරම් කෑම වර්ග, පලතුරු, පැණි රස ආහාර වර්ග තිබෙනවාද? ඒ එකිනෙකට වෙනස් සුවඳ, රසවල් මගින් මුළු ශරීරයටම උත්තේජන ලැබෙනවා. සිරුරට දැනීම් දැනෙන්නට ඉඩ දීම, දැනීම් හඳුනා ගැනීමට ඉඩ දීම ඉතාම වැදගත් වේ. ශරීරයට දැනෙන ආකාරය විඳගන්න අවස්ථාව දීම ඉගෙනුම් පරිසරයක තිබිය යුතු ලක්ෂණයකි.

4. දරුවන් වෙනුවෙන් කාලය වෙන් කරන්න

දරුවාට ඇහුම්කන් දීම, දරුවන් සමග සිංදු කීම, ප්‍රහේලිකා පිරවීම වගේම දරුවා මුළුතැන්ගෙයට සම්බන්ධ කිරීම, ගෙවත්තේ වැඩවලදී මල්, ගස් අත ගා අත්දැකීම් ලබා දීමට උනන්දු වෙන්න. ආරක්ෂිත දෙමාපිය අධීක්ෂණය යටතේ මේ සියල්ල සිදු කළ යුතුයි. දරුවාට ඇති තරම් දඟලන්න නිදහස දිය යුතුයි. සිරුර ගැන අත්දැකීම් ගත යුතුයි. ජීවිතය පවත්වාගැනීමට අවශ්‍ය වන්නේ මේ වගේ පරිසරයකින් ලැබෙන අත්දැකීම්ය.

5. දරුවන්ට නිවසේ ඉඩ වෙන් කරන්න

නිවස තුළ දරුවන්ට වෙන් වුණු කොටසක් තිබිය යුතුයි. සෙල්ලම් බඩු (ඔබේ දරුවා රැල්ලට නොයවා — එනම් කාටුන්වල ඇති සෙල්ලම් බඩු නොව, සැමවිටම දරුවාගේ බුද්ධිය, හැඟීම්, ජීවන කුසලතා වඩවන සෙල්ලම් බඩු සැමවිටම ලබා දෙන්න; තුවක්කු වැනි දේ දරුවන්ට ලබා නොදෙන්න; බුද්ධි වර්ධනයට වගේම විනෝද විය හැකි සෙල්ලම් බඩු පමණක් සැමවිටම දරුවා වෙනුවෙන් තෝරාගන්න) අසුරා තබන්න. තම පොත් පත් තබා ගැනීමට වෙන් වූ තැනක් දරුවාට අවශ්‍යයි. එනම්, දරුවාට පෞද්ගලික ස්ථානයක් තිබිය යුතුයි. දරුවාට යම් මොහොතක් තනිව ගත කිරීමට තමන් වෙනුවෙන්ම වෙන් වූ ස්ථානයක් තිබීම ඉතාම වැදගත් වනු ඇත. එයද ඉගෙනුම් අවස්ථාවකි.

6. කාල සටහනකට අනුව වැඩ කරන්න

යහපත්, ධනාත්මක ඉගෙනුම් පරිසරයක කාල සටහනකට අනුව වැඩ කළ යුතුයි. මේ සඳහා දෙමාපියන් ද ආදර්ශමත් විය යුතුයි. එවිට දරුවා ද ඒ වෙනුවෙන් කැප වන අතරම, උදේ, දිවා, රෑ කළ යුතු දේ පිළිබඳව දරුවාට අවබෝධයක් ඇති වනු ඇත. එසේම දරුවා කාලය කළමනාකරණය කර ගැනීමට සමත් වනු ඇත. තවද ඒ හරහා ඉදිරි වැඩ පිළිබඳව අවබෝධයක් දරුවාට හිමි වනු ඇත. කාල සටහන සකස් කිරීමේදී නිවසේ සාමාජිකයන් සමග කාලය ගත කිරීමට, සෙල්ලම් කිරීමට, ආගමික වැඩ කටයුතු සඳහා වගේම රූපවාහිනිය නැරඹීමටත් වේලාව වෙන් කර දිය යුතුය. එවිට දරුවෙක් කළ හැකි හා නොහැකි දේ හඳුනා, අධ්‍යාපනික පරිසරයක් තුළ තම අරමුණට ගමන් කිරීමට උනන්දු වනු ඇත.

7. ස්වාධීන දරුවෙක් බිහි කළ යුතුයි

දරුවෙක් යනු නිදහස් පුද්ගලයෙකි. තමා සම්බන්ධයෙන් හෝ තීරණ ගැනීමට දරුවාට අවස්ථාව සැලසිය යුතුයි. මේ සියල්ල ආරක්ෂාව සහිතව හිමි විය යුතු අවස්ථාවන් බව දෙමාපියන් වන ඔබ සිහි තබා ගත යුතුයි. මේ සඳහා ගෙදර ගොඩ නැගීමේදී පවා සැලකිලිමත් විය යුතුයි. එනම් ගෘහ අලංකරණ ක්‍රියාවලියේදී දරුවාට මුල් තැනක් දීම ඉතා වැදගත් වනු ඇත. උදාහරණ ලෙස, පොත් රාක්කය පිහිටා ඇත්තේ දරුවාට ළඟා විය නොහැකි ස්ථානයක නම්, එය දරුවාට ස්වාධීන වීමට බාධාවකි. ඒ නිසා දරුවාගේ පොත් දරුවාට ළඟා විය හැකි ස්ථානයක ඇසිරීම, දරුවා ස්වාධීන අයෙකු කිරීමට රුකුලක් වනු ඇත. දරුවන්ට පහසු විදියට ඒවා සකස් කළ යුතුයි. දරුවාට නිදහසේ වැඩෙන්න, ක්‍රියාකරන්න අවස්ථාව දිය යුතුයි. දෙමාපියන් ලෙස ඔබ, දරුවාට උපරිම ආරක්ෂාව සහිතව ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරයක් සකස් කර දීම ඉතාම වැදගත් වනු ඇත.

8. දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන්න

දරුවන් විසින් සිදු කරන නිර්මාණ — එනම් චිත්‍ර, මැටිවලින් සිදු කරන නිර්මාණ වගේම, යම් ජයග්‍රහණයක් ලැබූ ඡායාරූප — ප්‍රදර්ශනය කිරීම දරුවන්ගේ උනන්දුව වැඩිදියුණු කරනු ඇත. එවැනි ක්‍රියාකාරකම් පසුපස දරුවන්ගේ විශාල මහන්සියක් ගැබ්ව ඇති නිසාම, ඒවා ප්‍රදර්ශනය කිරීමෙන් ඔබට වගේම දරුවාටත් විශාල ශක්තියක් හිතට දැනෙන අතරම, තම ජයග්‍රහණය මව/පියාට ඉතා වටිනා බව අවබෝධ කරගන්නා දරුවා, ඒ අභිමානය තම ඉගෙනීමේ කටයුතු හරහාත් ලබා ගන්නටත්, මව්පියන් වෙත ලබා දෙන්නටත් උනන්දු වනවා.

9. නිවසින් පිටත ක්‍රියාකාරකම්වලට අවස්ථාව ලබා දෙන්න

දරුවාට නිවසින් පිටත ක්‍රියාකාරකම් සඳහා ඔබ අවස්ථාව ලබා දෙන්නේ නම්, පරිසරය ආශ්‍රිතව දරුවන් ලබා ගන්නා දැනුම නිසාම ඉගෙනුම් විෂයයන් යටතේ ඔවුන්ට හිමිවන පරිසර ගැටලු බොහොමයකට නිවැරදිව පිළිතුරු ලබා දීමට හැකියාව ලැබෙනු නියතය. පැළෑටි, ගස් වැල් වගේම සතුන් පිළිබඳවත් බාහිර පරිසරය තුළින් දරුවා දැනුවත් වීම පන්තියක් තුළ ඉගැන්වීමට වඩා ප්‍රායෝගික බව, අත්දැකීමෙන් මව්පියන් වන ඔබ දන්නා කරුණකි. එසේම අධ්‍යාපනයක් ලබා ගත හැකි තැන්වලට ගෙන යාමෙන් (සත්ව උද්‍යානය, කෞතුකාගාරය, චිත්‍ර ප්‍රදර්ශන, වේදිකා නාට්‍ය, පුස්තකාලය, ග්‍රහලෝකාගාරය, පොළ වැනි) දරුවා බොහෝ දේ උකහා ගනු ඇත.

10. දරුවා යහපත් පුරුදුවලට හුරු කරන්න

ආගමික කටයුතු, යහපත් ආහාර පුරුදු, ගුණ දායක ආහාර, ව්‍යායාම, සුව නින්ද වගේම තම පිරිසිදු බව රැක ගැනීම දරුවන්ට හුරු කළ යුතුමය. මේ පිළිබඳව දැනුවත්ව, ක්‍රමවත්ව ඇති දැඩි වන දරුවෙක් තම ඉගෙනීමේ කටයුතු වෙත සාර්ථකව යොමු වනු නිසැකය.

මතක තබා ගන්න:

දරුවෙකුට තම නිවස තුළ සිදු කළ හැකි මේ සියලු දේ සැමවිටම දරුවෙකු ඉගෙනීමට සූදානම් කරවන බව අමතක නොකරන්න. ඉදිරියේදී දරුවා මුහුණ දෙන සියලු විභාග ජය ගෙන ඉදිරියට යාමට මේවා ඉතාම වැදගත් වන බව දෙමාපියන් වශයෙන් ඔබ සිහි තබා ගත යුතුමයි. එසේ නම්, නිවසේ පරිසරය දරුවාට ඉගෙනීමට සුදුසු පරිසරයක් බවට පත් කිරීමේ වගකීම දෙමාපියන් වශයෙන් ඔබ සතුය.

රේණුකා තෙන්නකෝන්

කථිකාචාර්ය

ශ්‍රී ලංකා පදනම් ආයතනය

අදාළ ලිපි