අධ්‍යාපනය

අත් අකුරු සහ ලීවීමේ හැකියාව දියුණු වීමට සෙල්ලම් කිරීම වැදගත් බව ඔබ දැන සිටියාද?

2025-02-10මිනිත්තු 5
Did You Know Play Is Important for Developing Handwriting Skills?

දරුවන්ගේ අත් අකුරු සහ ලිවීමේ හැකියාව වර්ධනයට සෙල්ලම් කිරීම මගින් මනා පිටිවහලක් ලැබෙන අතර, මෙහිදී සෙල්ලම් කිරීම ලෙස අදහස් වන්නේ දරුවන් එළිමහනේ දුව පනිමින් ක්‍රීඩා කිරීමයි.

හොඳින් ලිවීම සඳහා දරුවෙකුට හොඳ දෘෂ්‍ය මතකයක්, දෘෂ්‍ය අනුක්‍රමික මතකයක්, ප්‍රමාණවත් උපදෙස් සහ දැනුම, දළ චාලක හැකියා සහ සියුම් චාලක හැකියා යන්නෙහි හොඳ සමායෝජනයක් තිබිය යුතුමය. මෙම දළ සහ සියුම් චාලක හැකියාවන් දරුවෙකුගේ ලිවීමේ හැකියාවට දායක වන අන්දම අප මේ ලිපිය තුළින් සාකච්ඡා කරමු.

දළ සහ සියුම් චාලක හැකියාවන් යනු මොනවාද?

දළ චාලක හැකියාවන්

දළ චාලක හැකියාවන් යනු අත්, පාද සහ කඳ උපකාර කර ගනිමින් සිදු කරන ක්‍රියාකාරකම්ය. එයට උදාහරණ ලෙස දණ ගෑම, ඇවිදීම, දිවීම, පිහිනීම, උඩ පැනීම, නැටීම, තනි කකුලෙන් පැනීම වැනි ක්‍රියාකාරකම් දැක්විය හැකිය.

සියුම් චාලක හැකියාවන්

සියුම් චාලක හැකියාවන් යනු මැණික් කටුව, අත, ඇඟිලි සහ මහපටැඟිල්ල ආශ්‍රිත සියුම් මාංශ පේශීන් යොදාගෙන සිදු කරන වඩාත් සියුම් සහ සංකීර්ණ ක්‍රියාකාරකම්ය. ලිවීම යනු මෙයින් එක් ක්‍රියාකාරකමක් පමණි. ඊට අමතරව, උදාහරණ ලෙස චිත්‍ර ඇඳීම, කුඩා දේවල් අතින් අහුලා ගැනීම, බොත්තම් දැමීම, ඇඳුම් ඇඳීම, පොතක පිටු පෙරලීම, ආහාර ගැනීම, කතුරකින් කැපීම, පරිගණක යතුරු පුවරුව ක්‍රියාත්මක කිරීම ආදී විශාල ක්‍රියාකාරකම් රාශියකි.

ඉහත ක්‍රියාකාරකම් දෙවර්ගයක් ලෙස සැලකුව ද, බොහෝවිට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි ලෙස සියුම් චාලක ක්‍රියාකාරකම් සිදු කිරීමට දළ චාලක හැකියාවේ සමායෝජනය ඉතා වැදගත් වේ. බොහෝ දෙනා සිතනුයේ දරුවෙකුගේ දළ චාලක හැකියාව ඉවහල් වනුයේ ක්‍රීඩාවලින් ජය ලැබීමට පමණක් බවයි. නමුත්, දරුවාගේ ලිවීමේ හැකියාවට මෙන්ම පන්ති කාමරය තුළ අවධානය රඳවා තබා ගැනීමට ද දළ චාලක හැකියාවන් උපකාරී වේ.

දරුවෙකුගේ සාමාන්‍ය වර්ධනයේදී මුලින්ම දළ චාලක හැකියාවන් වර්ධනය කරගන්නා අතර, සියුම් චාලක හැකියාවන් දක්නට ලැබෙන්නේ පසුකාලීනවය. දරුවෙකු මුලින්ම සිදු කරනුයේ අත උරහිස් සන්ධියෙන් ඔසවා නිදහස් ක්‍රියාකාරකම් වන අතර, සෙල්ලම් බඩුවක් අල්ලා සෙල්ලම් කිරීම දක්වා එය වර්ධනය වන්නේ පසුකාලීනවය. එම කාලයේ දරුවාගේ ශරීරයේ දළ චාලක හැකියාවන් මගින්, දරුවාගේ කඳ සහ කඳට ඉතා සමීපව පවතින සන්ධිවල මාංශ පේශීවල ශක්තිමත්භාවය සහ ක්‍රියාශීලීත්වය වර්ධනය කර ගනී. උදාහරණ ලෙස පෙරළීම, මුනින් අතට සිට සෙල්ලම් බඩුවලට අතින් ගැසීම, දණ ගෑම වැනි කුඩා වියේ සිදු කරන ක්‍රියාකාරකම් දැක්විය හැකිය.

නිසි ඉරියව්ව සහ මාංශ පේශි ශක්තිය

හොඳින් ලිවීම සඳහා පැන්සල හෝ පෑන නිසි පරිදි හැසිරවීම මෙන්ම නිසි ඉරියව්වක් පවත්වා ගැනීමත් වැදගත් වේ. නිසි ඉරියව්වක් පවත්වා ගැනීම සඳහා දරුවාගේ බෙල්ල, උරහිස් සහ කඳ ආශ්‍රිත මාංශ පේශීන්වල හොඳ පාලනයත් තිබීම ඉතා වැදගත්ය. පෑන හෝ පැන්සල හැසිරවීම යන සංකීර්ණ ක්‍රියාවලියේදී අතේ සහ ඇඟිලිවල සියුම් මාංශ පේශීන්ගේ නිසි ක්‍රියාකාරීත්වයට නිසි ඉරියව් පවත්වා ගැනීම ඉතා වැදගත්ය. අසුන් ගැනීමේ — එනම් වාඩි වීමේ — නිවැරදි ඉරියව්වක් දිගු වෙලාවක් තබා ගැනීමට නම්, උරහිස්, කඳ සහ උකුල ආශ්‍රිත මාංශ පේශීවල ශක්තිමත්භාවය සහ දරා ගැනීමේ හැකියාව දියුණු කරගත යුතුය.

දරුවා පැන්සල හෝ පෑන අල්ලන්නේ සහ හසුරුවන්නේ මැණික් කටුව, අත සහ ඇඟිලි යොදාගෙන වුවත්, එය දිගු වේලාවක් රඳවා තබා ගැනීමට වැලමිට හා උරහිස් ආශ්‍රිත මාංශ පේශීන් උපකාරී වේ.

දරුවාගේ ලිවීමේ හැකියාව වර්ධනය කර ගැනීමට කළ යුත්තේ කුමක්ද?

වයස අවුරුදු 1ට අඩු

දළ චාලක හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා, පෙරළීමට, බඩගෑමට සහ දණ ගෑමට ඉතා නිදහස් පරිසරයක් (මෙට්ටයක් මත නොව බිම නම් වඩාත් ඵලදායිය) සහ අවස්ථාවක් ලබා දීම මගින්, දරුවාගේ කඳ සහ කඳට ආසන්නව පවතින මාංශ පේශීන් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සලසා දීම.

වයස අවුරුදු 1 සිට 3 දක්වා (පෙර පාසල් යාමට පෙර ඇවිදීමේ අවධිය)

දළ චාලක හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා එළිමහනේ දුව පැන සෙල්ලම් කිරීමට (පාවහන් රහිතව නම් ඉතා හොඳයි) අවස්ථාව සැලසීම. බෝල විසි කිරීම, ඇල්ලීම වැනි ක්‍රියාකාරකම්, වැලි සමග සෙල්ලම් කිරීමට ඉඩ දීමද වඩාත් හොඳ ක්‍රියාකාරකම් වේ.

වයස අවුරුදු 3 සිට 10 දක්වා

දළ චාලක හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා නිදහසේ අනෙක් දරුවන් සමග දුව පැන සිදු කරන සෙල්ලම් සහ විශේෂිත සෙල්ලම් පිටිවල ඇති ක්‍රියාකාරකම් වෙත යොමු කිරීම වඩාත් සුදුසු වනු ඇත.

ඒ වගේම ඔන්චිලි පැදීම, බයිසිකල් පැදීම, උඩ පැනීම (උස මෙට්ටයක් මත), පසු පසට ඇවිදීම, පැත්තෙන් පැත්තට ඇවිදීම, තනි කකුලෙන් පැනීම, විවිධ සතුන් අනුකරණය කරමින් ඇවිදීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීමේදී, දරුවාගේ හැකියාව සලකා බලමින් ක්‍රමානුකූලව වඩා සංකීර්ණ ක්‍රියාකාරකම් සඳහා දරුවා යොමු කළ හැකිය. ඉහත ක්‍රියාකාරකම් සඳහා දරුවෙකු යොමු කළ හැක්කේ එම දරුවාගේ හැකියාව මතයි. එමෙන්ම දරුවාගේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් විය යුතුමය.

ලිවීමේ ගැටලුවක් තිබේ දැයි සැකයක් ඇත්නම්

යම් හෙයකින් ඔබේ දරුවාට (විශේෂයෙන් වයස අවුරුදු 6 සිට 10) ලිවීමේ ගැටලුවක් ඇති බවට ඔබ සිතනවා නම්, එය එම අංශයේ ගැටලුවක්ද යන්න විශ්ලේෂණය කර වෘත්තීමය සුදුසුකම් ඇති අයෙකුගේ උපදෙස් මගින් තහවුරු කර ගත යුතුය. ඒ සඳහා දරුවාගේ ගුරුවරයාගේ නිර්දේශය සහිතව රජයේ රෝහලකට යොමු වීම මගින් දරුවාගේ ප්‍රශ්නය හඳුනාගත හැකිය. එමගින් ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර, මනෝ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර, භෞතික චිකිත්සක උපදෙස් සහ ක්‍රියාකාරකම්, සහ වෘත්තීය චිකිත්සක උපදෙස් සහ ක්‍රියාකාරකම් වෙත යොමු විය හැකිය.

එස්. පී. කසුනි චන්දිමා

ජ්‍යෙෂ්ඨ භෞත චිකිත්සක

රිජ්වේ ආර්යා ළමා රෝහල

අදාළ ලිපි