අධ්‍යාපනය

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ ඇති වැදගත්කම

2025-04-12මිනිත්තු 6
The Importance of Student-Centered Education

21 වන සියවස තුළ — එනම් වර්තමාන ලෝකය තුළ — සාර්ථකත්වයට පත්වීමට හා සාර්ථකත්වය අත්කර ගැනීම උදෙසා අධ්‍යාපනය තුළදී විශාල පරාසයකින් දැනුම, කුසලතා, ආකල්ප, පුහුණුව හා තමන්ගේ චරිතයට ආවේණික ගති ලක්ෂණ සංවර්ධනය කරගත යුතුය. 21 වන සියවසෙහි ආරම්භය තෙක්ම ලොව පුරාම අධ්‍යාපන ක්‍රමය තුළ අවධානය යොමුව තිබුණේ අන්තර්ගතය හා දැනුම අත්කර ගැනීමට ගුරුවරයා වටා කේන්ද්‍රීය වූ ශිෂ්‍යයන් සූදානම් කිරීම කෙරෙහිය. එහෙත් 21 වන සියවස තුළට දැනුම පමණක් නොව ඉහත සඳහන් කළ පරිදිම, දැනුම සමගම සමාජයීය සහ චිත්තාවේගික ලක්ෂණ මත ද පදනම් වූ ඉලක්ක වෙතට අධ්‍යාපනය යොමු විය යුතු විය.

ඒ අනුව දරුවන් වටා කේන්ද්‍රීයව, දරුවාගේ කුසලතා, රුචිකත්වය, අවශ්‍යතා සහ අධ්‍යාපනය ලැබීමේ රටාව අනුව සැලසුම් කරනු ලැබූ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් — නැතිනම් ළමා කේන්ද්‍රීය අධ්‍යාපනයක් — සඳහා අද වන විට අධ්‍යාපනය යොමු විය. දරුවෙකු සමාජයට දායාද වීමේදී, වැඩිහිටියකු ලෙස සමාජය තුළ තම ජීවිතය තුළ ඇති වන හෝ මුහුණ දෙනු ලබන ප්‍රශ්න හා ගැටලු තුළදී ඒවාට අදාළ තොරතුරු තමන් විසින්ම සොයා බලා ගැනීමට සමත් විය යුතුය. ඒ තුළ තමන් මේ වන විටද අත්පත් කරගෙන සිටින දැනුමද ප්‍රයෝජනයට ගනිමින් උද්ගතව ඇති ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් සමත් විය යුතුය. එම අවස්ථාවේදී උදව් ලබා ගැනීමට දෙමව්පියන්, ගුරුවරුන් හෝ වෙනත් අයකු නොසිටිය හැක. එම නිසා තමන්ගේම මහන්සියෙන්, ස්වයං අධ්‍යයනයකින් ඉගෙන ගන්නා ආකාරය දරුවන් දැනගෙන සිටිය යුතුය.

ගුරුවරයාගේ හා දෙමාපියන්ගේ භූමිකාව

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ දී ගුරු භූමිකාව තුළත්, දෙමාපියන්ගේ භූමිකාව තුළත් බලාධිකාරයෙන් තොරව — එනම් කට පාඩම් කිරීමෙන් තොරව — හැමවිටම දරුවාට පහසුකම් සලසන්නෙකුගේ භූමිකාවක් පමණක්, එනම් සුසාධ්‍යකරුවෙකුගේ භූමිකාව පමණක්ම දෙමව්පියන්, ගුරුවරු සහ වැඩිහිටියන් විසින් ක්‍රියාත්මක කළ යුතුය. තමන් විසින්ම අවශ්‍ය තොරතුරු සපයා ගැනීමට ශිෂ්‍යයාට මඟ පෙන්වීම සිදුවිය යුතුය. එමඟින් ශිෂ්‍යයන් තුළ අභිප්‍රේරණය සහ වගකීම ද සංවර්ධනය වේ. ඒ තුළ ශිෂ්‍යයාට උත්තේජනය සපයයි. අන් අය සමග සහයෝගීතාවය, බාධාකාරී චර්යා අවම කිරීමට ද එම කරුණු වැදගත් වනු ඇත. එවිට දරුවා පීඩාකාරී අධ්‍යාපන රටාවෙන් මිදී, සැහැල්ලු සහ සතුටින් අධ්‍යාපන කටයුතු කෙරේ යොමු වන අතරම ඒ හරහා දැනුම පමණක් නොව ආකල්ප හා කුසලතා සංවර්ධනයට ද මග පෑදෙනු ඇත. ඉගෙනීම යනු තොරතුරු අනාවරණය කර ගැනීම මිස, කරුණු කටපාඩම් කර ගැනීම නොවන බව අප සිහි තබා ගත යුතුය.

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේදී ශිෂ්‍ය සහභාගිත්වය, ශිෂ්‍යයාගේ පෞරුෂ වැඩිදියුණු කිරීම, ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුමට අවස්ථා මතු කරන සිසු නිර්මාණ ඔප් නංවාලීම, නිරීක්ෂණය, ප්‍රශ්නකරණය, නව අත්හදා බැලීම් සඳහා සිසුන් යොමු කරවීම වැනි කරුණු පිළිබඳව වගකීම ගුරුවරයාගේ භූමිකාවට හිමි වනු ඇත.

දරුවාට හිමි වන අධ්‍යාපන අවස්ථා

  1. නිදහස හා සොබා දහමින් ඉගෙන ගැනීම
  2. ක්‍රීඩාව අධ්‍යාපන ක්‍රියාවලියක් ලෙස භාවිතයට ගැනීම
  3. අත්දැකීම් තුළින් ඉගෙනීම
  4. ස්වයං ඉගෙනුම්කරුවකු වශයෙන් කටයුතු කිරීම

දරුවන් ස්වභාවයෙන්ම හොඳ නිරීක්ෂකයින් සහ පරීක්ෂකයින් වේ. අධ්‍යාපනයේදී දරුවන්හටම අවස්ථාවක් ලබාදීම මත ඔවුන් සැහැල්ලුවෙන් හා සතුටින් අධ්‍යාපනය ලබන අතර, අනාගතයේදී පරිපූර්ණ වැඩිහිටියන් බවට පත්වනු ඇත.

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය දෙසට අවධානය යොමු කළ විට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ දරුවාගේ දැනුම, ආකල්ප හා කුසලතා සංවර්ධනය තුළින් පූර්ණ පෞරුෂයක් ගොඩනැගීම කෙරෙහි අවධානය පළමුවරට යොමු වූයේ 1972 වසරේ සිදු වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ දීය. එය ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම සඳහා ගත් පළමු උත්සාහයයි. එහෙත් එය විවිධ ගැටලු නිසා සාර්ථක කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිය. අධ්‍යාපනයේ ජාතික ඉලක්ක ඉටුකර ගැනීමෙහි පදනම ලෙස 1997 අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළදී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය අනුව යමින් මූලිකම නිපුණතා කාණ්ඩ පහක් හඳුන්වා දෙන ලදී. එනම්,

  1. සන්නිවේදන නිපුණතාවය
  2. පරිසරයට අදාළ නිපුණතා
  3. ආගම හා ආචාර ධර්මවලට අදාළ නිපුණතා
  4. ක්‍රීඩාවට හා විවේකයට අදාළ නිපුණතා
  5. ඉගෙනීමට හා ඉගෙනුම පිළිබඳ නිපුණතා

2003 දී ජාතික අධ්‍යාපන කොමිසම මෙම නිපුණතා තුළට තවත් නිපුණතා කාණ්ඩ දෙකක් ඇතුළත් කරන ලදී. එනම්,

  1. පෞරුෂත්වයට අදාළ නිපුණතා
  2. වැඩ ලෝකයට සූදානම් කිරීමේ නිපුණතා

මේ අනුව නිපුණතා හතක්, දැනුම, කුසලතා, ආකල්ප හා හැකියා සංවර්ධනය කෙරෙහි යොමු කරවන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමට අනුමත කරන ලදී. දරුවන් තුළ අත්‍යවශ්‍ය නිපුණතා වර්ධනය කිරීමෙන් ජාතික අරමුණු වෙත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යොමු වන අතරම, දරුවාගේ කායික, චිත්තවේගීය, භාෂාමය, සමාජමය, බුද්ධිමය, සෞන්දර්යාත්මක හා ආධ්‍යාත්මික වැනි විවිධ පැතිකඩ ඔස්සේ සමෝධානික වූ පූර්ණ සංවර්ධනයක් ඇති කිරීම සහතික කරන්නා වූ මූලික අයිතිවාසිකමක් ලෙසද ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය හොඳ මාවතකි.

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ දැකිය හැකි අභියෝග

1. ළමුන්ගේ පෞද්ගලික විවිධතා විවිධාකාර වීම

සංවර්ධන අවධි තුළදී ළමුන්ගේ බුද්ධිය, කුසලතා, රුචිකත්වය, ගුණාංග, හැඟීම්, ආකල්ප හා චර්යාවන්හි පෞද්ගලික විවිධතා පවතී. දරුවන්ගේ මෙම පසුබිම හා අවශ්‍යතා හඳුනා ගැනීමට ගුරුවරුන් තුළ නිපුණතාවය තිබේද යන්න ප්‍රශ්නයකි. එහෙත් මෙම සියලු ගුණාංගයන්ට අවධානය යොමු කිරීම තුළින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය සාර්ථකව ක්‍රියාවට නැංවිය හැකියි.

2. සාරවත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම

දරුවන් තම පරිසරය හා සම්බන්ධ වී එහි සුන්දරත්වය හා රිද්මය රසවිඳීමට ප්‍රියතාවයක් දක්වයි. මෙහිදී සමස්ත පෞරුෂ වර්ධනයක් ඇති කිරීම අධ්‍යාපනයේ කාර්ය වේ. මෙම කාර්යය සඳහා පසුබිම සකස් කළ හැක්කේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් වන නිර්මාණාත්මක ඉගෙනුම් පරිසරයක් සැකසීමෙනි.

තම පරිසරයේ සුන්දරත්වය, තාලය, රිද්මය, ගායනය, වාදනය, රංගනය හා චිත්‍ර මගින් දරුවා සංවේදීතාවයට පත්වේ. උදාහරණ ලෙස දරුවන් බොහෝ විට ස්වාභාවික පරිසරයේ කුරුල්ලන්, සමනලුන්, ගස් වැල්, පැළෑටි, මල් නිරීක්ෂණය කරමින් තෘප්තියට පත්වන අයුරු අප බොහෝවිට දැක ඇත. එම සංවේදීතාව මතු කරමින් තෘප්තිමත් ආස්වාදයක් විඳීම තුළ දරුවාගේ පෞරුෂ වර්ධනයට එය විශාල දායකත්වයක් ලබා දෙයි. ඒ සඳහා ඉගෙනුම් පරිසරය තුළ නිර්මාණාත්මක බව වැදගත් තැනක් ගනු ලබයි. මෙම නිර්මාණාත්මක ඉගෙනුම් පරිසරය ඇති කිරීම අධ්‍යාපන පද්ධතිය තුළ මහත් අභියෝගයකි. එහෙත් දරුවන්ට උචිත වෙනස්කම් තුළින් අධ්‍යාපනය ලබා දීමට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ හැකියාව ඇත්නම්, ඒ තුළින් දරුවන් පූර්ණ නිපුණතාවලින් සමන්විත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

අවසාන වශයෙන්:

සෑම ළමයෙකුගේම හැකියා හා අවශ්‍යතාවන්ට අනුකූලව නිර්මාණශීලී ඉගැන්වීම් පරිසරයක් ගොඩනැංවීම ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය වේ. ඒ තුළ දරුවා පීඩනයකින් තොරව සතුටින් අධ්‍යාපනය ලබන අතර, පූර්ණ දැනුම, කුසලතා, ආකල්ප සහිත දරුවෙකු බිහිවීම සිදුවේ. ඒ සඳහා අවබෝධයෙන් මෙන්ම අවධානයෙන් වැඩිහිටියන් ලෙස අප කටයුතු කළ යුතුය.

ජේ.ඩී.ආර්. කල්හාරි

අදාළ ලිපි