යමක සාර්ථකත්වය රඳා පවතින්නේ අපගේ කැපවීම මත යැයි කිව්වොත් නිවැරදියි. දරුවන්ගේ ජීවිත සාර්ථක කර ගැනීම වෙනුවෙන් දෙමාපියන් වන අපගේ සාර්ථක මැදිහත් වීම ඉතාම වැදගත් වෙනවා. එනම් ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් අප නිවැරදි අදහස්, ආකල්ප සමගින් මුහු වීමයි. දරුවන්ගේ අධ්‍යාපන ජීවිතයේ පළමු කඩඉම ලෙස ශිෂ්‍යත්ව විභාගය අද වන විට බොහෝ සෙයින් ප්‍රචලිතව ඉදිරියට පැමිණ ඇති යුගයක, මව්පියන් තම දරුවන් ඒ වෙනුවෙන් වෙහෙස කරවන්නේ හොඳම පාසැලට ඇතුළත් කිරීමේ සිහිනය සැබෑ කරගැනීමටයි. යම්හෙයකින් ඔබේ දරුවා ශිෂ්‍යත්ව විභාගය අසමත් වීම දරුවන්ට අනවශ්‍ය ලෙස බලපෑම් ඇති කළ හැකි තත්ත්වයක් වන්නේත් දෙමාපිය ඔබේ ප්‍රතිචාරය හමුවේය. වැඩිහිටි මතය, අදහස අනුව දරුවන් පීඩාවට පත්වන නිසාම, දෙමාපියන් අසමත් දරුවෙකු හමුවේ හැසිරිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් විය යුතුමය.
ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ එම අසමත් වීම් හමුවේ ලැබූ ප්‍රතිචාර හේතුවෙන් මානසිකව රෝගී වූ වැඩිහිටි පුද්ගලයන් මාගේ වෘත්තීය ජීවිතයේදී බොහෝ සෙයින් හමු වී ඇති නිසාම, ඔබේ දරුවාගේ අසමත් වීම් හමුවේ ඔබ හැසිරිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය වෙනවා. විභාගයෙන් අසමත් වූ දරුවෙකුගේ හිතට දැනෙන පීඩාව, ලැජ්ජාව වගේම, දරුවා දකින තම මව/පියාගේ ප්‍රතිචාර, හැසිරීම, ඥාතීන්ගේ විමසීම් වැනි සියල්ල දරුවා තුළ ඇති කරන්නේ “මම වටින දරුවෙක් වන්නේ ශිෂ්‍යත්ව විභාගය පාස් වුණොත් විතරද?” යන සිතුවිල්ලයි. එය දරුවෙකුගේ ජීවිතයට එතැන් සිටම ප්‍රශ්න එකතු කරනවා. විභාගය අසමත් වීම මානසිකව දරුවන්ට පීඩාවක් වන කාරණාවක් වන්නේ වැඩිහිටි ප්‍රතිචාරය මත බව දැන් ඔබට පැහැදිලි ඇති. අන්න ඒ නිසාම ඔබ වැඩිහිටියන් ලෙස අසමත් දරුවෙකු වෙත දක්වන ප්‍රතිචාර කෙබඳු විය යුතුදැයි සලකා බැලිය යුතුය.
ශිෂ්‍යත්වය හොඳම පාසැලක් වෙත දරුවෙක් ඇතුළත් කිරීමට විශාල අවස්ථාවක් වී ඇත්තේ අපේ රටේ සියලු පාසැල් හොඳම මට්ටමේ නොපැවතීම නිසා වුවත්, දරුවෙක් මානසිකව ව්‍යාකූලත්වයට පත්වන තුරු මේ වෙහෙස කරවීම දෙමාපියන් නොකළ යුතුමය. අද වන විට මානසික ව්‍යාකූල තත්ත්වයට පත්ව ජීවිත පවා නැති කරගත් දරුවන් බොහොමයක් වාර්තා වනවා. උදාහරණයක් ලෙස, 2022 වසරේ වයස අවුරුදු 8 – 10 සීමාවේ දරුවන් 88 දෙනෙකු සියදිවි හානි කරගත් බවට වාර්තා වී තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වීම පවා මේ තත්ත්වයට බලපා ඇති අතරම, මේ සම්බන්ධව දැනුවත් වීම වගේම අසමත් වීම් හමුවේ දරුවා දිරි ගැන්වීමට දෙමව්පියන් විදිහට වගේම සමාජයක් විදියටත් අපට වගකීමක් තිබෙනවා. ශාරීරිකවත් මානසිකවත් නිරෝගී දරුවෙකු බිහි කිරීමේ වගකීම සෑම දෙමාපියෙක්ටම පැවරී ඇත.
විභාගය අසමත් වුවත් අහිමි නොවන දේවල් ආදරෙන් කියා දෙන්න
ඔබේ අසීමාන්තික ආදරය ගැන පවසන්න
පළවෙනිම දේ එයයි. සීමාවකින් තොරව ආදරය හිමිවන්නේ මව සහ පියාගෙන් පමණි. නමුත් අද කාලයේදී අසීමාන්තික ආදරයට බොහෝ සීමාවන් යොදාගෙන තිබෙනවා. දරුවන්ට වටිනාකමක් දෙන්න මව්පියන් සූදානම්ව සිටින්නේ විභාගයේ සමත්, අසමත් බව සමගයි. දරුවා විභාගය අසමත් වුවත් අම්මාගේ සහ තාත්තාගේ ආදරය කිසිදු වෙනසක් නොවන බව දරුවාට කියා දෙන්න. විභාගය අසමත් වීම මත දරුවා මෙතෙක් ගෙවූ ජීවිතයේ කිසිදු වෙනසක් සිදු නොවන බවත්, විභාගය අසමත් වීම මත දරුවාගේ අනාගතය තීරණය නොවන බවත් දරුවාට කියා දෙන්න. දෙමව්පියන් ලෙස අපි, අපේ දරුවන්ගේ ජීවිතවල සාර්ථකත්වය වගේම අසාර්ථකත්වය හමුවේත් එයට ඔවුන් සූදානම් කිරීම අත්‍යවශ්‍යයි. ජීවිතයේ සාර්ථකත්වය වගේම අසාර්ථකත්වයත් සැමරිය යුතු බව දරුවාට කියා දෙන්න. දරුවාට අපි ඒත්තු ගැන්විය යුත්තේ විභාගය අසමත් වීම හොඳ බව නොවෙයි — නමුත් දරුවා උනන්දුවෙන් වැඩ කළ යුතු බවත්, ජීවිතයේ අනෙක් සියලු වැඩ කටයුතු අත්හැර දමා වැඩ නොකළ යුතු බවත්ය.
දරුවා ආදරෙන් වැළඳ ගන්න
ඔබ, ඔබේ ජීවිතයේ අසාර්ථකව ඔබේ දෙමාපියන් වෙත පැමිණි අවස්ථාවක වුවද ඔවුන් ඔබව ආදරෙන් පිළිගන්නවාට ඔබ කැමති වනු ඇත. දරුවාද එසේමය. දෙමාපියන් ලෙස ඔබ, ඔබේ දරුවා පිළි නොගත හොත් දරුවා අනිවාර්යෙන්ම සමාජය දෙසට හැරෙනු ඇත. අද වන විට අප සමාජය බොහෝ සෙයින් අවුල් සහගත තත්ත්වයක පවතින නිසාම, අසභ්‍ය චිත්‍රපට, මත්ද්‍රව්‍ය වැනි දරුවන් බිලිගන්නා බොහෝ දේවල් අද වන විට අප සමාජය තුළ පැතිරෙමින් සිටී. වයස අවුරුදු අට සම්පූර්ණ දරුවන් පවා මෙවැනි දේට ඇබ්බැහි වූ අවස්ථා වෘත්තීය ජීවිතයේදී හමු වී තිබෙන නිසාම, අපි සැමවිටම දරුවන් සම්බන්ධව සැලකිලිමත් විය යුතුමයි.
දෙමාපියන් මතක තබා ගත යුතු දේ
- විභාගය අසමත්ව පැමිණෙන ඔබේ දරුවා ආදරෙන් වැළඳගන්න අමතක කරන්නට එපා.
- අසමත් වීම නිසා දුකෙන් පීඩාවෙන් සිටින දරුවා තව තවත් මානසිකව ඇද වැටෙන ලෙස කතා කරන්නට එපා.
- දරුවාට “තමන් අසාර්ථකයි, තමන්ට වටිනාකමක් නැහැ, තමා දුර්වල අයෙක්” යන සිතුවිල්ල ඇති වන්නට ඉඩ දෙන්න එපා.
“දුව/පුතාට දුකද? ඒ ඇයි?” විභාගය ජීවිතයේ එක් කඩඉමක් පමණක් බවත්, එය මුළු ජීවිතයම නොවන බවත්, ඉදිරියේදී තවත් කඩඉම් ඇති බවත්, ඒ සඳහා වෙහෙස වී වැඩ කළ හැකි බවත් දරුවාට කියා දෙන්න. දරුවා සමඟ හොඳින් කතා බහ කිරීම අත්‍යවශ්‍යයි.
සාර්ථකත්වයේ සැබෑ මිම්ම
දරුවෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය මැනිය හැක්කේ ඒ දරුවා කොයිතරම් සතුටින් ඉන්නවාද යන මිම්මෙනි. අන්න ඒ මිම්මට හොඳම අඩිතාලම දැමිය හැක්කේ දෙමාපියන්ටයි. සතුටින් සිටින දරුවා, වැඩිවියට පත් ජීවිතයේ යම් දිනක රැකියාවේදී වුවත් ඔහු/ඇය තුළ අභිප්‍රේරණය ඉබේම ඇති වනු ඇත. අන්න ඒ නිසාම දරුවා සතුටින් තැබීමට දෙමාපියන් සැමවිටම උත්සුක විය යුතුය.
වැටෙන තැනින් නැගිටින්නට දරුවාට දිරි ගැන්වීම මව්පියන් වන අපගේ වගකීමකි. ජීවිතය යනු නිරන්තරයෙන් ඉගෙනීමයි. අසාර්ථක තැන්වලදී එයට හේතුව සොයා සාර්ථකත්වය වෙත ගමන් කිරීමට නම්, අපේ දරුවන් අසාර්ථක වන අවස්ථාවලදී අප ඔවුන් සමගම සිටගත යුතු වනු ඇත. නිසි මනසකින් ජීවිතයට මුහුණ දිය හැකි දරුවෙක් සෑදිය යුතුයි. “සමත් වුණත් අසමත් වුණත් කමක් නැහැ” යන මානසිකත්වය ඇති දරුවන් නොව, තමන්ගේ දේ වෙනුවෙන් කැප වී තම අවශ්‍යතාවය මත සාර්ථකත්වය වෙත ගමන් කිරීමට උනන්දු මානසිකත්වයක් ඇති දරුවන් බිහිකිරීම දෙමාපියන් වන අපගේ වගකීමක් වනු ඇත.
රසිනි බන්ඩාර
මනෝ උපදේශිකා, මයිනඩ් හීල්ස් ආයතනය
යහපැවැත්ම පිළිබඳ උපදේශිකා, ජාත්‍යන්තර ප්‍රවාහන සම්මේලනය



