අධ්‍යාපනය

කියවිම, ඉගෙනුම් කුසලතාවය වර්ධනය කිරීමට බලපාන්නේ කෙසේද?

2025-05-08මිනිත්තු 5
How Does Reading Affect the Development of Learning Skills?

ඉගෙනීම යනු විනයානුකූල කාර්යයක් වන අතරම, ඒ සඳහා විනය, පෙරහුරුව, අධ්‍යාපනය සඳහා සැකසුණු මනසක් සහිත දරුවෙක් සිටීම සාර්ථකත්වයට වැදගත්ම කරුණකි. ඔබ බලාපොරොත්තු වන ඉගෙනීමට දක්ෂ දරුවා බිහිකිරීමට නම්, දරුවාට හැකි තරම් ගුණාත්මක බවින් යුතු, දරුවන්ගේ වයස අනුව සරිලන පොත් භාවිතයට ඉඩ දෙන්න. එනම් ඔබ දරුවා කියවීමට හුරු කළ යුතුයි. ඔබත් පොත් කියවන දෙමාපියන් නම් ආදර්ශය මගින් එය දරුවන්ට ද හුරු වනු ඇත. දරුවෙකුගේ බුද්ධිය වර්ධනයට එය ඉතාම හොඳ අවස්ථාවක්. එය ප්‍රායෝගික ක්‍රියාවක් වගේම අපහසු කාර්යයක්ද නොවෙයි.

ඇතැම් විට දරුවා පොත් කිළිටි කරනවා, ඉරා දමනවා, තැන් තැන්වල තබා යනවා යැයි සිතා පොත් ආරක්ෂිතව තැම්පත් කර තැබීම කිසිසේත්ම සුදුසු නොවන අතරම, එය දරුවාට ලබා දිය යුතුමයි. ඉතා කුඩා වියේදී වුවත් දරුවෙකු පොතකින් යමක් උකහා ගැනීමට දක්ෂ වන අතරම, කියවීමට නොහැකි වුවත් යමක් බලා රස විඳීම කුඩා වියේ සිටම කළ හැකියි. කුඩාම වියේදී වුවද දරුවෙකු තම බසින් හෝ පොත් කියවීමට උත්සාහ දරයි. රූප බලා කතන්දරය ඔවුන් විසින්ම සකසා ගනී. එවැනි දරුවෙක් අවුරුදු 5/6 වන විට අනිවාර්යෙන්ම කියවීමට හුරු වනු ඇත.

පොත් කියවීමෙන් දරුවාට ලැබෙන ප්‍රතිලාභ

පොත් කියවීමෙන් මූලිකවම වාග් මාලාව සංවර්ධනය (භාෂාව සහ කථන හැකියාව), නිවැරදි වචන භාවිතය, කෙටි යෙදුම්, වාක්‍ය නිවැරදිව සෑදීම, ප්‍රායෝගික බස යන අත්දැකීම් සියල්ල දරුවාට හිමි වනු ඇත. එමෙන්ම දරුවාගේ පරිකල්පන හැකියාව වර්ධනය වීමට, සන්නිවේදන හැකියාව දියුණු වීමට, මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට, ගැටලු විසඳීම, සංකල්ප සංවර්ධනය, සවන්දීමේ හැකියාව, මතකය දියුණු කිරීම, ජීවන කුසලතා (ස්ථානෝචිත ප්‍රඥාව, දුර දිග බැලීම) වැනි කරුණු සඳහා අවශ්‍ය සියලු සිදු වීම් පොත් තුළ අන්තර්ගත වෙනවා. මේ සියලු කරුණු පොත් තුළ කතාවක් ලෙස පවතිනවා.

පරිකල්පන ශක්තිය දියුණු කිරීම

දරුවාගේ පරිකල්පන හැකියාව වර්ධනය කිරීමට කියවීම වඩාත් වැදගත් වනු ඇත. උදාහරණයක් ලෙස සීත හිම වැටෙන රටක් මූලික කරගත් කතාවක් ගතහොත්, හිම සීතල බව, හිම ලිස්සන බව, හිම කඳු වශයෙන් තැන් තැන්වල ඇති බව දරුවා පරිකල්පනය කරනවා. මේ කාලය නත්තල හෝ ඒ රටෙහි පාසැල් නිවාඩු සමයක් බව හෝ හිම ක්‍රීඩා ගැන හෝ දරුවා චිත්ත රූප මවනවා. ඒ තුළින් දරුවෙකුගේ පරිකල්පන ශක්තිය දියුණු කරනවා. පරිකල්පනයෙන් දරුවා බොහෝ ඉදිරියට යන බව අනිවාර්යයෙන්ම කිව හැකියි. යථාර්ථය අපිට පෙනෙන අතරම එය වටහා ගැනීමට පහසුයි. නමුත් පරිකල්පනය තුළින් දරුවෙක් බොහෝ ඉදිරියට ගෙන යනවා. නව සොයා ගැනීම්, නව නිපැයුම්, නව නිෂ්පාදන බිහි වෙන්නේ පරිකල්පනය හොඳින් දියුණු වූ දරුවන්ගෙනි. ඒ වගේම කියවීමට හුරු වූ දරුවන්ගේ සාමාන්‍ය දැනුම වර්ධනය වන අතරම, මානසික ඒකාග්‍රතාවය සමග ඉගෙනීම ඇතුළු අනෙකුත් හැකියාවන් දියුණු කිරීමට කියවීම ඉතාම වැදගත් වනවා.

අධ්‍යාපනයට සහ විද්‍යුත් උපාංගවලින් දුරස් වීමට

පොත් කියවීමට හුරු දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහ පාසැල් වැඩ කටයුතුවලට වැඩි පහසුවක් ලැබෙනවා සේම, තම විවේකය අර්ථවත්ව ගත කරන්නත් අවස්ථාව උදා වෙනවා. විද්‍යුත් උපාංග වෙත දරුවන් ඇබ්බැහි වී ඇත්නම්, හෝ ඇබ්බැහි වීම වළක්වා ගැනීමටත් කියවීමට හුරු කිරීම ඉතා හොඳ උපක්‍රමයක් වනු ඇත.

දෙමාපි ආදර්ශය වැදගත් වේ

මව, පියා පොත් කියවීම දරුවාට හොඳ ආදර්ශයක් වන අතරම, පොත් ගැනීමටත් පෙරලා බැලීමටත් කියවීමටත් දරුවාට අවස්ථාව ලබා දිය යුතුමය. එසේම කියවීමට සුදුසු පරිසරයක් නිවස තුළ සකස් වී තිබිය යුතුමය. ඔබේ දරුවා කියවීමට ටිකෙන් ටික හුරු වන විට, ඇයට/ඔහුට ඒ සඳහා ඇගයීමක් ලබා දීමට අමතක නොකළ යුත්තේ, දරුවාගේ මේ පුරුද්ද අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට මෙන්ම දරුවාගේ ජීවිතයේ සාර්ථක පුද්ගලයෙකු බවට පත් වීමට මනා රුකුලක් වන නිසාමය.

ඔබ දෙමාපියන් ලෙස දරුවා සමග පොතක් කියවන අවස්ථාවේදීම ජංගම දුරකථනය හෝ රූපවාහිනිය වෙත අවධානය යොමු කරනවා නම්, එය දරුවාට වැරදි ආදර්ශයක් වනු ඇත. ඔබ වැඩිහිටියෙක් ලෙස දරුවාගේ ප්‍රථම ආචාර්යවරයෙකු නම්, ඔබත් සියයට සියයක්ම අදාළ කාර්යය වෙත යොමු විය යුතුමය. වැඩ කිහිපයක් එක් විට සිදු කිරීමට යාමේදී එකදු වැඩක්වත් සාර්ථක නොවන අතරම, ඔබ ලබා දෙන ඒ ආදර්ශය දරුවා උකහා ගැනීම නිසා දරුවාගේත් වැඩ කටයුතු අසාර්ථක වීමට ඇති ඉඩකඩ වැඩිය. නිවැරදි ආදර්ශයෙන් සම්පූර්ණයෙන් අවධානය යොමු කරනවා නම් එය දරුවා ආදර්ශයට ගන්නවා. ඔබට අවශ්‍ය ඔබේ යම් කිසි දේකට සම්පූර්ණයෙන් යොමු වෙන්න නම්, ඔබ ඒ ආදර්ශය ලබා දිය යුතුයි. එසේ ඔබ විසින් දරුවා වෙත ලබා දෙන ආදර්ශය දරුවා පාසැල තුළ මෙන්ම තම අධ්‍යාපන කටයුතුවලදීත් පුහුණු කරනු ඇත.

රේණුකා තෙන්නකෝන්

කථිකාචාර්ය

ශ්‍රී ලංකා පදනම් ආයතනය

අදාළ ලිපි