සෞඛ්‍යය

විභාගයට සූදානම් වන දරුවගේ පෝෂණ අවශ්‍යතා ගැන ඔබ දැනුවත්ද?

2025-05-25මිනිත්තු 6
Are You Aware of the Nutritional Needs of an Exam-Preparing Child?

ඔබේ දරුවාගේ මුල් ළමා වියේ සත්කාරය හා සංවර්ධනය වෙනුවෙන් අපමණ වෙහෙසක් දරන ඔබ ඒ සඳහා වඩාත් උනන්දුවක් දක්වන්නේ දරුවන්ගේ වයස අවුරුදු පහ දක්වා කාලය තුළයි. මේ කාලය තුළදී සීඝ්‍ර වර්ධනයක් දරුවා තුළ අපට දක්නට හැකියි. එනම් උපතේදී දරුවෙකුගේ උපත් බර දෙගුණයක් වන්නට මාස පහක තරම් කෙටි කාලයකුත්, එම බර තුන් ගුණයක් වන්නට වසරක් පමණ වූ කෙටි කාලයකුත් ගත වන බව ඔබ අත්දැක ඇති කරුණකි. මෙසේ වූ සීඝ්‍ර වර්ධනයක් පෙන්වන ජීවිතයේ අවධි දෙකක් හඳුනාගත හැකි අතරම ඒවා නම් උපතේ සිට වසරක් දක්වා කාලයත්, නව යොවුන් අවධියත් වන වර්ධනය සීඝ්‍ර ලෙස පෙන්නුම් කරන අවධීන් දෙකයි.

ඉහත දැක්වූ අවධීන් දෙකෙන් මුල් ළමා වියේදී දරුවන්ගේ පෝෂණය පිළිබඳව සැලකිලිමත් වීම අප විසින් ඕනෑවට වඩා හොඳින් ඉටුකළ ද, නව යොවුන් වියට එළඹෙන දරුවන් සම්බන්ධයෙන් අප විසින් එම කටයුත්ත ඒ අයුරින්ම ඉටු කරනවාද යන්න හඳුනාගත යුතුම වූ ගැටලුවකි. දරුවෙකු වයස අවුරුදු දහයට එළඹෙන විට එය නව යෞවනය ලෙස හඳුන්වනවා.

නව යෞවන අවධීන්

  • වයස අවුරුදු 10 – 14 අතර කාලය — යෞවන වියේ මුල් අවධිය
  • වයස අවුරුදු 15 – 19 අතර කාලය — යොවුන් වියේ මැද කාලය
  • වයස අවුරුදු 20 – 24 අවධිය — යොවුන් වියේ අවසන් කාල පරිච්ඡේදය

මෙසේ යෞවනයේ එළිපත්ත මත සිටින දරුවන්, එනම් වයස අවුරුදු දහයේදී පමණ වන දරුවන්, අධ්‍යාපනයේදී ද වැදගත් වූ කඩඉමක් වෙත එළඹෙන සමය ලෙසින් ඉතාමත්ම වැදගත් වූ කාල පරිච්ඡේදයකට මුහුණ දෙනු ලබනවා. එනම් ශිෂ්‍යත්වයට මුහුණ දෙන වයස් කාලයයි.

විභාග කාලයේ පෝෂණයේ අර්බුදය

සැහැල්ලු ළමයා කාලයක් හිමි සියලු දරුවන්ට සැහැල්ලු වූ මනසකින් විඩාබර බවකින් තොරව තම කාර්යයන්ට යොමු වීමට නම් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම මව්පියන් වන අපගේ යුතුකම සේම වගකීමක්ද වෙනවා. එසේ හෙයින් කුඩා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට දැක්වූ උනන්දුව අඩුවකින් තොරව එලෙසටම පවත්වා ගැනීමත්, ඒ හා සක්‍රීය ලෙසින් ක්‍රියාත්මක වීමත් දෙමව්පියන්ගේ යුතුකමයි. එසේ හෙයින් සීඝ්‍ර වර්ධනය පෙන්වන දෙවන ප්‍රධාන අවධිය වන මේ කාලසීමාවේදී එනම් ශිෂ්‍යත්ව කඩඉමට සූදානම් වයස් කාණ්ඩයේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා කෙරේ බරපතළ ලෙස මැදිහත්වීම අප විසින් කළ යුතුමයි. එසේ වුවද බොහෝ විට අපට දැකිය හැකි වන්නේ මේ කාලය තුළ දරුවා මෙන්ම මව ද අධ්‍යාපනයට මුල් තැන ලබා දෙමින් අධ්‍යාපනයට අවශ්‍ය පසුබිම සැකසීදීමේදී දරුවාගේ පෝෂණය සැපයීම සම්බන්ධව යම් පසුබෑමක් සිදුවන බවයි.

දරුවා ප්‍රමාණය ඉක්මවා අධ්‍යාපනයට වෙහෙස කිරීමට දක්වන දෙමාපිය උනන්දුව හේතුවෙන් මව්පියන් කාර්යබහුලත්වයට පත් වීම හා ඒ සඳහා අසීමිත ලෙසින් සිත් යෙදවීම හේතු කොටගෙන දරුවන් වෙත ලැබෙන ආහාරයේ ප්‍රමිතිය පහළ බසිනු දක්නට ලැබෙනවා. එසේ වන්නේ පෝෂණය මූලික කිරීමක් නොවන නිසා මෙන්ම, ආහාර වේල ආහාර වේලක්ම පමණක් වී එහි පෝෂණ අගය පහළ අගයකට පත්වීමයි. මෙහිදී මුදලට ලබා ගත හැකි යම් ආහාරයක් පමණක් වන, පෝෂණය පිළිබඳ වැදගත්කම නොසලකා හැරී ආහාරයකට දරුවන්ට හුරුවීමට සිදුවී තිබීම කණගාටුදායක වන අතරම, බඩගින්න නිවාගැනීමට පමණක් ආහාර ලබාදීම හා ක්ෂණික හෝ පහසුවෙන් මිලදී ගත හැකි පාන්, බනිස් වැනි සම්පූර්ණ පෝෂණයක් ලබාදිය නොහැකි කෙටි කෑම සඳහා යොමු වීම අද වන විට බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි.

එසේ වුවද ශරීර වර්ධනය ප්‍රබල ලෙස සිදුවන අවස්ථාවක මොළයද විශාල ලෙස මෙහෙයවීමට දරුවන්ට සිදුව ඇති මෙවැනි අභියෝගාත්මක කාලයකදී දරුවාගේ ආහාර වේල පිළිබඳව සැලකිලිමත් වීම අතිශයින් කළ යුතු වේ. ප්‍රධාන පිෂ්ඨය සපයා ආහාරයකින් ශක්තිය ලබාගත හැකි වුවද, අනෙකුත් ශරීර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන වැඩි වර්ධන වේගයක් අත් කර ගත හැකි ප්‍රෝටීන හා ක්ෂුද්‍ර පෝෂක අඩංගු සර්ව සම්පූර්ණ, එනම් සම බල, ආහාරයක් දරුවා වෙත මේ කාලය තුළදී ලබාදීම අත්‍යවශ්‍ය නිසයි.

මොළය, ඉන්ද්‍රියන් සහ පෝෂණය

මොළය යනු අපගේ සියලු ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රධාන ඉන්ද්‍රියයි. අප කතා කරන්නේ, ඇහුම්කන් දෙන්නේ, අනිත් ක්‍රියාකාරකම් සියල්ල සිදු කරන්නේ ලැබෙන සංවේදන අනුවයි. මේ සංවේදන ලබාදීමට අපේ ශරීරයේ ඇස, කන, නාසය, දිව හා සම යන පංච ඉන්ද්‍රියන් වැදගත් වෙනවා. එසේ ඉන්ද්‍රියන් උත්තේජනය මගින් දක්වන සංවේදන අනුව මොළයේ ක්‍රියාකාරිත්වය දකින්නට ලැබෙනවා. එසේ හෙයින් මෙම ඉන්ද්‍රියන් සියල්ලේ ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත මට්ටමින් පැවතීම දරුවාගේ සංවර්ධන ක්‍රියාවලිවල සාර්ථකත්වයට හේතුවක් වෙනවා. මෙම ඉන්ද්‍රියයන්ගේ මනා ක්‍රියාකාරීත්වය උදෙසා ඒවායේ නිරෝගී බව සාක්ෂාත් කිරීමට නම්, ඒවායේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ පෝෂණ අවශ්‍යතා උපරිම ලෙස ලබාදීම කළ යුතුයි.

මෙසේ දරුවෙකුගේ ඉගෙනීමේ කුසලතා වර්ධනය කිරීමට නම්, මෙම ඉන්ද්‍රියයන් පෝෂණය කිරීම සඳහා වැඩි උනන්දුවක් දැක්වීම අප විසින් කළ යුතුයි. එසේ හෙයින් වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ආහාර හොඳින් ලබාදීම අත්‍යවශ්‍යයි. ප්‍රෝටීන්වලින් පොහොසත් ආහාර මඟින් උසින්, බරින් වැඩි වීම පමණක් නොව, දරුවන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් මෙන්ම ඒවායේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මාංශ පේශි ශක්තිමත් කිරීමත් වඩා හොඳින් සිදුවෙනවා. එසේම එම ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිර සැපයුම් සාර්ථක ලෙසින් සිදුවීමට නම් අවශ්‍ය තරම් ලේ ප්‍රමාණයක් නිෂ්පාදනය වීම අවශ්‍යයි. එසේ රුධිර සෛල නිෂ්පාදනයට අවශ්‍ය තරම් යකඩ, ෆෝලික් අම්ල හා විටමින් ආහාරයේ අඩංගු විය යුතුයි. එසේම යකඩ, විටමින් වැනි ක්ෂුද්‍ර පෝෂක ආහාර මගින් ශරීරයට ලැබුණද, එම ආහාර ජීර්ණ ක්‍රියාවලිය උත්තේජනයට අවශ්‍ය වන විටමින් සී වැනි ක්ෂුද්‍ර පෝෂක ද, ජීරණ ක්‍රියාවලිය ශක්තිමත් ලෙසින් සිදු කරන තන්තුමය ආහාර ද වැදගත් වෙනවා.

සියලු පෝෂක අවශ්‍ය ප්‍රමාණයට ලැබීමක් සිදු නොවන විට ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය දුර්වල වීම සිදුවෙනවා. ශරීර ක්‍රියාකාරී බවින් යහපත්ව පවත්වා ගැනීමට හොඳ රුධිර සැපයුමක් ශරීරයේ සියලුම ඉන්ද්‍රියන්ට ලැබීම අවශ්‍ය වන අතරම, එසේ රුධිර සැපයුමක් සිදුවීමට නම් අවශ්‍ය තරම් රුධිරයෙහි හිමොග්ලොබින් සෛල තිබීම අවශ්‍යයි. හිමොග්ලොබින් හොඳ මට්ටමක පැවතීමේදී ශරීරය පුරා ඔක්සිජන් පරිවහනය හොඳින් සිදු වන අතරම, එසේ නොවන්නේ නම් (හිමොග්ලොබින් අඩුකම නිසා) මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවී අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබී යාම නිසා දරුවන්ගේ ක්‍රියාශීලීත්වය මන්දගාමී වෙනවා. එසේම මතක ශක්තිය දුර්වල වීම, නිදිමත, ඉතා සුළු දෙයින් පවා වෙහෙසට පත් වීම, නුරුස්නා බව ඇතිවීම වැනි හේතු නිසා දරුවන්ගේ ඉගෙනීමේ දුර්වලතා මතුවෙනවා. එසේ අවධානය ගිලිහී යාම නිසා පාඩම් තුළ සිත් රඳවා ගැනීමට හෝ තර්ක කර යමක් තේරුම් ගැනීමට ඇති හැකියාව අඩුවී බුද්ධි මට්ටම පහළට ඒමද සිදුවෙනවා.

ප්‍රෝටීන් සහ ලවණ ලබා දෙන්නේ කොහෙන්ද?

දරුවන්ගේ ආහාරය තුළ ප්‍රෝටීන අඩංගු මස්, මාළු, කරවල, බිත්තර වැනි සත්ව ආහාර අඩංගු වීම වැදගත් වෙනවා සේම, කඩල, මුං ඇට, උඳු වැනි පියලි ඇට වර්ග ආහාරයට එක් කිරීම වැදගත් වෙනවා. සත්ව ආහාර මගින් ප්‍රෝටීන් ශරීරයට ලබා ගැනීම සිදුවෙනවා සේම, ඒවායේ ඇති යකඩ ශරීරයට උරා ගැනීමද පහසු කරනවා. ඇට වර්ග ආහාරයට ලබා දීමේදී ඒවා ජලයේ පොඟවා පිළියෙල කිරීම හෝ මුල් ඇද්දවීමට සලස්වා ආහාරයට ලබාදීම මගින් ජීරණය පහසු කරනවා මෙන්ම, ඒවායේ යකඩ උරා ගැනීමද පහසු කරනවා. එසේම යකඩ, කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම්, සින්ක් වැනි ලවණ ද ස්නායු ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වූ ලවණ හෙයින්, ඒවා අඩංගු ආහාර දරුවාගේ ආහාරයට නිතිපතා එකතු කිරීම වැදගත්. එසේ ලවණ අඩංගු ආහාර අතර පලා වර්ග, එළවළු, පලතුරු මූලික වෙනවා.

ඉගෙනුම ලබන දරුවාට ලබා දෙන ආහාරයේ ගුණාත්මක භාවය මෙන්ම ප්‍රමාණාත්මක භාවය පිළිබඳව ද සැලකිලිමත් වීම ඉතා වැදගත් වන අතරම, උදේ, දිවා සහ රාත්‍රී යන සෑම ආහාර වේලකදීම ආහාරයේ සියලු පෝෂක කොටස් අඩංගු වන සේ ආහාර සකසා දරුවාට ලබා දීම ඉතාම වැදගත් වනු ඇත.

සෑම ආහාර වේලකම අඩංගු විය යුතු දේ

  • පිෂ්ඨය — බත්, පාන්, අල වර්ග, ආප්ප, ඉඳිආප්ප, කොස්, දෙල්
  • ප්‍රෝටීන් — මස්, මාළු, කරවල, බිත්තර, කඩල, මුං ඇට, උඳු
  • මේදය — පොල්, බටර්
  • විටමින් සහ ලවණ — පලා වර්ග, එළවළු, පලතුරු
  • තන්තු — ධාන්‍ය වර්ග, එළවළු, පලතුරු
  • ජලය

දරුවෙකු උපදින විට මොළයේ ස්නායු සෛල බිලියන 100ක් පමණ පවතිනවා. මේවා මොළය තුළ විසිරී පවතින අතරම, ඒවා විවිධ කාර්යයන් සඳහා වෙන් වූ මොළයේ කොටස් තුළම විසිරී තිබෙනවා. මේවාට ලැබෙන උත්තේජන අනුව මෙම සෛල අතර උපාගමයක් නිර්මාණය වී හැඟීම්, දැනීම් ක්‍රියාත්මක වීම සිදුවෙනවා. මේවා උපතේ සිටම දැනෙන සංවේදන හරහා ලැබෙන උත්තේජන අනුව ක්‍රියාත්මක වීම සිදුවෙනවා. මෙසේ පංචේන්ද්‍රියන් හරහා ලැබෙන උත්තේජන ඉගෙනීමට ලැබෙන අවස්ථා හෙයින්, ඒවා සංවර්ධනයට එනම් පංචේන්ද්‍රියන් යහපත් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම සැපයීම මගින් දරුවන්ගේ ඉගෙනීමේ අවස්ථාවන් වැඩි කළ හැකියි.

මතක තබා ගන්න:

මනස වෙහෙසා ක්‍රියා කරන මෙවැනි අභියෝගාත්මක අවධියකදී දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් පැහැදිලි ලෙස හා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම මගින්, නිරවුල් ලෙස අධ්‍යාපන කටයුතුවල යෙදීමටත් තර්කානුකූලව හා නිර්මාණශීලී ලෙසින් විෂය කරුණු විශ්ලේෂණය කිරීමටත් ඇති අවස්ථා වැඩි කිරීමට හැකියාව හිමි වේ. තවද දෙමාපිය මැදිහත් වීම දරුවාට දැනෙන ලෙස සිදුවන විට දරුවන් ජයග්‍රාහී ලෙස ඉදිරියට යාම වඩාත් තීව්‍රව සිදුවන බව පැහැදිලි ලෙස දැකිය හැකිය.

අයිරාංගනී ගඟලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, බුලත්සිංහල

අදාළ ලිපි