සෞඛ්‍යය

ලාදුරු රෝගයට ගොදුරු වුණු පාසැල් දරුවන් සිටින බව ඔබ දැන සිටියාද?

2025-07-18මිනිත්තු 5
Did You Know There Are School Children Affected by Leprosy?

මුළු ලෝකයටම බලපෑ රෝගයක් ලෙස හැඳින්විය හැකි ලාදුරු රෝගය අද වන විට ශ්‍රී ලංකාවෙන් තුරන් කළ රෝගයක් බවට බොහෝ දෙනා සිතා සිටියත් අදටත් අපේ රට තුළින් ලාදුරු රෝගීන් වාර්තා වනවා. සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සහතික කොට ලාදුරු රෝගය තුරන් කළ රටක් ලෙස නම් කිරීමට නම් පුද්ගලයන් දස දහසකින් එකට අඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය යුතුය. 1995 වසර වන විට එම සහතිකය ශ්‍රී ලංකාවට හිමි වුවත් අද වන විට එම නිර්ණායක වෙනස් වීම හේතුවෙන් ලාදුරු තුරන් කළ රටක් ලෙස සහතික වීමට නම් වසර පහක් පුරා ළමා ලාදුරු රෝගීන් වාර්තා නොවී තිබිය යුතුය.

ලාදුරු රෝගය බාල මහලු වැඩිහිටි භේදයකින් තොරව දැකිය හැකි රෝගයකි. ලාදුරු රෝගීන් අතර අවුරුදු පහට අඩු දරුවන් කුඩා ප්‍රමාණයක් ද, වයස අවුරුදු 14ට අඩු දරුවන් 11%ක් පමණ ද, ඉතිරි කොටස වැඩිහිටි පිරිස ද වේ. රෝගය හොඳින් පාලනය කළ රටක වුවත් සාමාන්‍යයෙන් 4% – 5%ක ප්‍රමාණයක් ළමා රෝගීන් සිටින බව පැවසෙනවා. අපේ රට තුළ රෝගී දරුවන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර මඩකලපුව, කල්මුණේ, පුත්තලම, යාපනය, අනුරාධපුරය ඇතුළු පැතිවලින් ද ළමා රෝගීන් වාර්තා වෙනවා.

ප්‍රශ්නය

වෛද්‍යතුමියනි, ලාදුරු කියන්නේ භයානක රෝග තත්ත්වයක් නේද?

අතීතයේදී නම් මේ රෝගයට මිනිසුන් බොහෝ සෙයින් බියට පත් වුණා. අත් පා විරූපී වීම් දකින්නට ලැබුණු නිසා ඒ බිය ඇති වූවා යැයි කීවොත් නිවැරදියි. රෝගයට අවශ්‍ය ඖෂධ අතීතයේදී තිබුණේ නැති වුවත් අද වන විට ලාදුරු නිට්ටාවට සුව කළ හැකි ඖෂධ තිබෙන අතරම අත්‍යවශ්‍ය වන්නේ රෝගය කල් තියා හඳුනාගෙන වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි.

ප්‍රශ්නය

වෛද්‍යතුමියනි, ලාදුරු රෝගය බෝ වන්නේ කෙසේද?

මයිකොබැක්ටීරියම් ලෙප්‍රේ නම් වූ බැක්ටීරියාව හේතුවෙන් හටගන්නා ලාදුරු රෝගය සම සහ පර්යන්ත ස්නායු ආශ්‍රිතව ඇති වන, ශ්වසන පද්ධතිය හරහා බෝ වන රෝගයකි. ආසාදිත පුද්ගලයෙකුගේ බිඳිති සහ ශ්ලේෂමල හරහා රෝගය සම්ප්‍රේෂණය වෙනවා. මුව ආවරණ, දුරස්ථ බව, විෂබීජහරණය කිරීම වැනි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම මගින් මේ රෝගය බෝවීම වළක්වාලීම අපහසුයි. ලාදුරු බෝ වීම හෝ බෝ නොවීම සිදුවන්නේ පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ හැකියාව මතයි. ඒ වගේම රෝගියෙක් ස්පර්ශ කිරීමෙන් රෝගය බෝ වීමක් සිදු වන්නේ නැහැ. රෝගියෙක් කෙටි වෙලාවකට ආශ්‍රයෙන් බෝ වීමක් සිදු නොවුණත් දීර්ඝකාලීන සමීප ඇසුරකින් රෝගය බෝ විය හැකියි.

ප්‍රශ්නය

ලාදුරු රෝගය ඇති වූ අයෙක් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ සිරුරේ කුමන ස්ථානවලද?

සාමාන්‍යයෙන් මයිකොබැක්ටීරියම් ලෙප්‍රේ බැක්ටීරියාව ආසාදනය වූ පසුව රෝග ලක්ෂණ පෙන්වීමට වසර 3 – 5ත් අතර කාලයක් හෝ ඇතැම් විට එම කාලය අවුරුදු 20ක් දක්වාත් දිගු විය හැකියි. ඒ වගේම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ ආසාදිතයන්ගෙන් 10%ක් පමණ පිරිසක් විය හැකියි.

රෝගයේ මුල් අවස්ථාවේදී හිරිහැරයකින් පීඩාවකින් තොර ලක්ෂණ පෙන්නුම් කරන නිසාම ඇතැමුන් එතරම් සැලකිලිමත් වන්නේ නැත. එනම් මූලිකවම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ සමේ හා පර්යන්ත ස්නායු පද්ධතියේ පමණයි. මයිකොබැක්ටීරියම් ලෙප්‍රේ බැක්ටීරියාවට වැඩි උෂ්ණත්වයක සිටිය නොහැකියි. සාමාන්‍යයෙන් අපේ ශරීර අභ්‍යන්තර සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් පමණ වෙනවා. නමුත් සම මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 වැනි අගයක් පවතින නිසා මයිකොබැක්ටීරියම් ලෙප්‍රේ බැක්ටීරියාව ශරීරයේ මතුපිට වාසය කරනවා. අන්න ඒ නිසා ශරීර අභ්‍යන්තරයට හානි වීමක් නැහැ. ඒ වගේම හිසට රුධිර සැපයුම වැඩි නිසා උෂ්ණත්වය වැඩි වන අතරම හිස මතුපිටත් රෝග ලක්ෂණ පෙන්වීමක් නැහැ.

ප්‍රශ්නය

ලාදුරු යැයි සැක කළ හැකි සම මතුපිට පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?

සමේ පැහැයට වඩා පැහැයෙන් අඩු අලුහම් වැනි ලප

කැසීමක් වේදනාවක් නොමැති මේ ලප නිසා රෝගියාට කිසිදු පීඩාවක් ඇති නොවන අතරම මෙම ලප යම් කාලයක් තුළ වැලමිටේ පිටුපස, බඩේ, පිටේ මෙන්ම අත්පාවලද ඇති විය හැකියි.

ඔබේ හෝ දරුවාගේ සම මත ඉහත පැවසූ ආකාරයේ ලපයක් ඇත්නම් ලපයේ පිටත සිට ඇතුළට බෝල්පොයින්ට් පෑන් තුඩකින් ක්‍රමයෙන් ස්පර්ශ කර දැනීමෙන් දළ අදහසක් ඔබට ලබා ගත හැකිය. වඩාත් සුදුසු වන්නේ කුඩා හෝ වැඩි සැකයක් ඇත්නම් වෛද්‍යවරයෙකු හමු වී පරීක්ෂා කරවා ගැනීමයි.

ලප ඇති ස්ථානවල සංවේදනය අඩු වී යාම

මෙය අවදානම් තත්ත්වයකි. එනම් කාලයත් සමග ලප ඇති ස්ථානවල සංවේදනය අඩු වීම නිසා අනතුරකදී වුවද නොදැනී යා හැකියි. එමගින් සම මත තුවාල ඇති වීම, අදාළ ස්නායු මගින් ක්‍රියාත්මක වන පේශී අක්‍රිය වීම වුවද සිදු විය හැකියි.

හිරි වැටීම

සාමාන්‍යයෙන් කුඩා දරුවෙක් අත පය හිරි වැටීම ගැන මැසිවිලි නගනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට උනන්දු වන්න.

ප්‍රශ්නය

ලාදුරු රෝගයට ගොදුරු වූ දරුවන් පාසැල් තුළ සිටීමෙන් රෝගය ව්‍යාප්ත වීමක් සිදුවන්නේ නැතිද?

අපේ වාර්තාවන්වලට අනුව දරුවන් ලාදුරු රෝගයට ගොදුරු වෙලා තියෙන්නේ පවුලේ සමීපතමයන් හරහා මිස පාසැල් හරහා නොවන නිසා දරුවන් පාසැල් වෙත එවීමට බිය විය යුතු නැහැ. නමුත් සමීපතමයන් හෝ එවැනි ඉතිහාසයක් පවුල් තුළ ඇත්නම් සැලකිලිමත් වීම ඉතාම වැදගත් වෙනවා. දරුවන්ගේ ලප හෝ ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් වෙත යොමු වීමට මව්පියන් කටයුතු කළ යුතුයි.

දරුවාගේ ලප කැලැල්, මනා සෞඛ්‍ය තත්ත්වයේ සිටි දරුවාගේ අත් පාවල හිරි වැටීම්, හොඳින් ක්‍රීඩා කළ දරුවා කකුල් අද්දමින් දුවයි නම් ලාදුරු වල මුල් අවස්ථාව විය හැකි නිසා බියට පත්ව සඟවාගෙන නොසිට වෛද්‍ය උපදෙස් වෙත යොමු වී රෝගය නිට්ටාවටම සුව කර ගන්න. එසේම අදාළ ඖෂධ සතියක් ලබා ගත් විට රෝගය තවත් අයෙකුට බෝ කිරීමේ හැකියාවක් ද නොමැති නිසා මුල් අවස්ථාවේදීම වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ඉතාම වැදගත් වේ.

ප්‍රශ්නය

සෞඛ්‍ය පද්ධතිය හරහා ලාදුරු රෝගීන් වෙනුවෙන් ගෙන ඇති පියවර මොනවාද?

නොමිලේ සායන

ඕනෑම රජයේ රෝහලක සමේ රෝග සායනය හෝ ජාතික රෝහලේ කාමර අංක 12 (සතියේ දිනවල උදේ 8 සිට සවස 4 දක්වාත්, සෙනසුරාදා දින උදේ වරුවේ) වෙත ගොස් වෛද්‍යවරු හමුවිය හැකියි.

නොමිලේ ඖෂධ

මේ සඳහා ඖෂධ (ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබා දෙන මේ ඖෂධ පෞද්ගලික අංශවලින් ලබාගත නොහැක) ලබාගත හැක්කේ රජයේ රෝහල්වලින්ම පමණි.

නව රෝගීන් හඳුනා ගැනීම

වාර්තා වූ රෝගීන්ගේ සමීපතමයන් පරීක්ෂා කර ඒ හරහා නව ආසාදිතයන් හඳුනා ගැනීම. ඒ වගේම ඇතැම් පළාත්වල ස්වේච්ඡා කණ්ඩායම් පුහුණු කර රෝගීන් සොයා ගැනීමට ක්‍රියාත්මක වනු ඇත.

රෝගීන්ගේ මානසික සුවතාවය සොයා බැලීම

මේ රෝගය පුද්ගලයෙකු මානසිකව ඇද වැටීමට හේතු විය හැකි තත්ත්වයක් නිසා රෝගියාගේ මානසික සුවතාවයට වැඩි තැනක් ලබාදීමට උනන්දු වේ. රෝගියාගේ පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සැමවිටම සුරකී. උදාහරණයක් ලෙස පාසැලක රෝගී දරුවෙක් හමු වුණොත් දරුවා පිළිබඳ කිසිදු අයුරකින් තොරතුරු ප්‍රසිද්ධ කිරීමක් සිදු නොවේ. ලාදුරු රෝගීන් මානසිකව ඇද වැටීම වැළැක්වීමට උපදේශන සේවාවක් සඳහා පිරිස පුහුණු කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර, ලාදුරු රෝගීන් සමාජය තුළ කොන් නොවී සමාජය තුළ සම අයිතිවාසිකම් ලැබීමට සුදුසු පිරිසක් බව ඒත්තු ගැන්වීම අපේ තවත් අරමුණකි.

මතක තබා ගන්න:

ඔබට, ඔබේ දරුවාට හෝ ඔබේ සමීපතමයෙකුට පෙර සඳහන් කළ ලක්ෂණ ඇත්නම් කල් නොදා වෛද්‍ය උපදෙස් වෙත යොමු වී රෝගය කල් තියා හඳුනාගෙන, නිසි ඖෂධ නිසි කලට ලබා ගනිමින් ලාදුරු රෝගය නිට්ටාවටම සුව කළ හැකිය. නොසැලකිලිමත්කම, බිය හෝ ලැජ්ජාව නිසා නිසි වෛද්‍ය උපදෙස් වෙත යොමු නොවීමෙන් අත්පා, ඇඟිලි අහිමි වන තෙක් රෝගය දුර දිග ගෙන යාම ඔබට, ඔබේ දරුවාට හෝ ඔබේ සමීපතමයාට සිදු කරන අසාධාරණයකි.

සමේ රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය

අදාළ ලිපි