මිනිසා මෙන්ම සමස්ත සත්ව සංහතියටම අත්‍යවශ්‍ය වූ අවශ්‍යතාවයක් ලෙස නින්ද හැඳින්විය හැකියි. සත්ත්වයින් හැරුණු කොට ශාක පවා නිද්‍රාසන්න වනවා අප දැක තිබෙනවා. සෑම සත්ව කොට්ඨාසයක්ම යම් අවස්ථාවකදී නින්ද ලබාගන්න උත්සාහ දරනවා. ඒ වගේම යම් ජීවන රටාවකට හුරුව තිබෙන්නේ යම් සේද ඒ ජීවන රටාව තුළදී නින්දට යාම දක්නට ලැබෙනවා.
උපතේ දී නින්දේ කාර්යභාරය
කුඩා දරුවකු උපත ලද පසු ජීවිතය ඇරඹීමත් සමග වැඩි කාලයන් නින්දට ගත කරනවා. ඒ මෙලොවට බිහිවීමේදී මුහුණ දුන් කටුක බව මෙන්ම පරිසර දෙකකට අනුවර්තනය වීමේ දී ඊට මුහුණ දීමට ශක්තිය ලබා ගැනීම සඳහායි. ඒ අවස්ථාවලදී ඊට ඉඩහසර ලබාදෙමින් අප විසින් දරුවා වර්ධනයට අවැසි ලෙස නින්දට බාධා නොකර වරින් වර අවදි කරමින් පෝෂණය කරනු ලබනවා. මෙසේ සිදුවන විට දරුවා ක්‍රමයෙන් පරිසරයට හුරුවීමත් සමඟ මූලික අවශ්‍යතා ලබා ගැනීම සඳහා තමන්ගේ නින්ද හා අවදිව සිටින කාලය ක්‍රමයෙන් පරිපාලනයට ලක් කරනු ලබනවා. මෙසේ උපතේදී වැඩි කාලයක් නින්දට ලබා දෙන්නේ ප්‍රසූතියේදී ලද අපහසුතා එනම් ගර්භාෂය සංකෝචනයට ඉහිල් වීමට ලක්වීම යන ක්‍රියාවලියේදී බලපානු ලබන පීඩනය නිසා ඇති වූ කම්පනය ඇති කරන හැඩ ගැස්වීම හේතු කොට ගෙන ඇති වූ අපහසුතා ද එකවර සිදුවීම මෙන්ම උපත ලැබූ පසු තමන් පෙර සිටි පරිසරයට හාත්පසින්ම වෙනස්ම වූ පරිසරයක උණුසුම් ස්වභාවයකට මුහුණ දීමට ආදියට සිදුවන අනුවර්තනය වීමක් ලෙසයි. මෙයින් අපට ගම්‍ය වන්නේ වෙනස්වීමක් සඳහා හැඩ ගැස්ස වීමකට ලක්වීමේ දී ඊට අවශ්‍ය ශක්තිය පහසුව ලබා ගැනීම සඳහා නින්ද මහත් මෙහෙයක් ඉටු කරනු ලබන බවයි.
ශරීරයේ සහ මනසේ වෙහෙස සමනය
මෙසේ ජීවිතයක් ඇරඹුම සමඟම මූලික අවශ්‍යතාවයක් ලෙස නින්ද අවශ්‍ය වන්නේ යම් සේද ජීවිතය පවත්වා ගැනීමේ දී ශරීර ඉන්ද්‍රියන් යහපත් අන්දමින් ක්‍රියාත්මක කරමින් ඒවාට අවශ්‍ය ශක්තිය සැපයුම් අතර සම්බන්ධතාවය ගොඩනැගීමට නින්ද ඊට ප්‍රබලතම මැදිහත් වීමක් කරනු ලබනවා. ශරීරය වෙහෙස වන්නේ යම් සේද එහි වෙහෙස නිවා ගැනීමට විවේකය අවශ්‍ය වනවා සේම මානසිකව එනම් මොළය වෙහෙසමින් දිගින් දිගටම කටයුතු කිරීමේදී මනසට ලැබෙන පීඩනය වැඩිවීම නිසා ඇතිවන ආතතිය සමනය කර ගැනීම සඳහා මනසට විවේකය ලබා දීම අත්‍යවශ්‍ය කරුණකි. මෙසේ සලකා බැලීමේදී මනසට ලැබෙන විවේකය බොහෝ විට නින්දයි. එසේ වන්නේ නින්දේදී පංචේන්ද්‍රියන්ද විවේකයට පත්වන නිසයි.
ඉගෙනීමට නින්දේ දායකත්වය
ඉගෙනුම ලබන හෙවත් ඉගෙනුම් අවස්ථාවන්හි යම් යම් කඩඉම්වලට මුහුණ දෙන අවස්ථාවල බොහෝ සේ දරුවන් වෙහෙස වන්නේ යම් සේද කායිකව වෙහෙසෙනවාට වඩා වෙහෙසක් මානසිකව සිදුවන නිසා දරුවන් මානසිකව අවිවේකී තත්ත්වයට පත්වෙනවා. එමෙන්ම මොළය වෙහෙසවා කටයුතු කිරීමට වීම නිසාද වෙහෙසට පත්වීමත් ආතතියට ලක්වීමත් සිදුවෙනවා. එසේම තරගකාරී විභාග රටාවන්වලදී තරගකාරී බව නිසාම වේගයෙන් විෂය කරුණු හඹා යාමටත් ඒවා ධාරණය කර ගැනීමටත් මොළය වෙහෙස කිරීමට දරුවන්ට සිදුවෙනවා.
මෙසේ එක දිගට කාලය යෙදවීමේදී ලැබෙන විවේකය අතිශයින් වැදගත් වන්නේ එම කරුණු නිරවුල් කර ගැනීමටත්, එම නිරවුල් කරගත් දැනුම නැවත මතකයට නගා ගැනීමටත් හැකි වන සේ ගබඩා කර ගැනීමත් වැදගත් වන හෙයිනි. මෙසේ දැනුම මතකයේ ගබඩා කර ගැනීමට විවේකය වැදගත් වන්නේ යම් සේද එම විවේකය මානසිකව ලැබෙන ආකාරය නින්ද ලැබීමයි. නින්ද මගින් පංචේන්ද්‍රියන් ලබන විවේකය හේතු කොටගෙන ශරීරයට සහනයක් විවේකයක් ලැබී විඩාව දුරුවෙනවා.
එසේම වර්ධන ක්‍රියාවලියට සම්බන්ධ වන, ගෙවී යන ශරීර කොටස් අලුත් වැඩියා කිරීම හෝ තුවාල වීම් වැනි ඇතිවන ආබාධ තත්ත්වවලදී ඒවා සුවවීමට එනම් පටක සෛල නිර්මාණය වී එය සුවවීමේ ක්‍රියාවලිය සඳහාද ශරීරයට ලැබෙන විවේකය වැදගත් වෙනවා. රෝගී අවස්ථාවලදී වුවද විවේකීව සිටීමට ලබා දෙන උපදෙස් පිළිපැදීම වැදගත් වන්නේ රෝගී තත්ත්ව පහව යාමට නින්ද වැදගත් වන නිසයි. එනම් කායික රෝග සමනයටද නින්ද වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබනවා. මෙසේ කායික නිරෝගීතාවය හොඳින් සිටුවන විට ශාරීරික ක්‍රියාකාරීත්වය යහපත් වන්නේ යම් සේද පංච ඉන්ද්‍රියන් හා ලබන උත්තේජන අනුව ඉගෙනීමේ ක්‍රියාවලියට ද මහඟු බලපෑමක් එල්ල වනවා.
එසේ හෙයින් සාර්ථක ඉගෙනුම් ක්‍රියාවලියක් සඳහා විමසුම් සහිතව තර්කානුකූලව සිතමින් ඉගෙනීමේ යෙදීම වැදගත් වනවා සේම එය මතකයේ තබා ගැනීමටද මේ ගැඹුරු සිතුවිලි හේතුවක් වෙනවා. ඉගෙන ගන්නා කරුණු මොළයේ මතකයන් තුළ පෙළගැස්වීම හා ඒ පෙළගැස්වීම් අනුව මතකයේ ගබඩා කිරීමටත් නින්ද හේතුවක් වෙනවා. එසේ වන්නේ ගැඹුරු ලෙස හදාරන කරුණු මොළයට කාවැදීමත් එය මතකයන් තුළ ගබඩා වීමත් සමගම නැවත එය අවශ්‍ය විට ආවර්ජනය කිරීමටත් විවේකී මනසකට හැකියාව ඇති නිසයි. සුව නින්දක් අවශ්‍ය කාලය තුළ ලබාගැනීම මගින් මනසට ලැබෙන විවේකය හේතුවෙන් විෂය කරුණු ඉතාමත් සාර්ථක ලෙස ගබඩා කිරීමට අවස්ථාවක් වන නිසා විභාග අවස්ථාවලදී මොළයේ මතක සෛල අවදිවීම මගින් පහසුවෙන් පිළිතුරු සැපයීමට හැකි වෙනවා.
මෙසේ හෙයින් නින්ද මොළයේ මතකයන් පෙළගැස්වීමට උපකාරී වනවා. එමෙන්ම නින්ද මගින් මොළයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට ද අවස්ථාව සැලසෙනවා. එසේ හෙයින් හොඳින් නින්දක් නොලැබෙන විට මේ ක්‍රියාවලි සියල්ල අඩපණවීමත් කායික දුර්වලතා මෙන්ම මානසිකව ලබන පීඩාව නිසා රෝගී තත්ත්වයන්ට මුහුණ දීමටත් සිදුවෙනවා. එවිට විභාගයට මුහුණ දෙන අවස්ථාවේදී පිළිතුරු සඳහා කරුණු නිරවුල් ලෙස ගලපා ගැනීමට අපහසු වෙනවා.
මෙසේ සලකා බලන කළ තරග විභාග සඳහා මුහුණ දෙන හෝ ඉගෙනීමේ ක්‍රියාවලිවල යෙදී සිටින දරුවන්ට රාත්‍රී කාලයේ සැපවත් අඛණ්ඩ පැය හයක අවම කාලයක්වත් නින්ද ලැබීම මගින් දිවා කාලයේ වෙහෙසට පත් වූ කය, මනස දෙකෙහිම විඩාව දුරුවීමටත්, එම වෙහෙස දුරුවීම මගින් ඊළඟ දිනයේ ප්‍රබෝධවත්ව කටයුතු කිරීමට ඇති හැකියාව වැඩිදියුණු වෙනවා. විඩාව දුරුවීම මගින් මොළයේ ක්‍රියාකාරීත්වය තවත් ශක්තිමත් වන නිසා නැවත අධ්‍යාපන කටයුතුවල උනන්දුවෙන් නියැළීමට අවස්ථාව ලැබෙන හෙයින් හොඳ නින්දක් ලැබීම ඉගෙනීමේ ක්‍රියාවලියට විශාල උත්තේජනයක් වන බව පැහැදිලියි. තවද පාඩම් මතක තබා ගැනීමටත්, ගැටලු විසඳීම සඳහා මොළය වෙහෙසීමටත් ඇති හැකියාව නින්ද මගින් වැඩි දියුණු කරනු ලබනවා. එමෙන්ම ශරීර ක්‍රියාකාරිත්වය සඳහා අලසකම දුරුව කටයුතු කිරීමට ලැබෙන හැකියාව අධ්‍යාපන කඩඉම් සඳහා වැදගත් වෙනවා.
මතක තබා ගන්න:
අධ්‍යාපනය ලබන දරුවන් සිටින සෑම දෙමව්පියෙකුගේම වගකීම වන්නේ දරුවන් සඳහා අවශ්‍ය විවේකය හා නින්ද ලබා ගැනීමට හැකිවන සේ දරුවන් අධ්‍යාපන කටයුතුවල යෙදවීමයි.
අයිරාංගනී ගඟලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, බුලත්සිංහල



