පාසැල් වැඩ කටයුතු සමග කාර්යබහුල වන අපේ දරුවන් තම ඉරියව් නොයෙක් ආකාරයෙන් පවත්වා ගෙන සිටින ආකාරයන් ඕනෑම නිවසකදී දැක ගත හැකියි. ඇතැමුන් බිම හෝ ඇඳමත දිගා වී පාඩම් වැඩ කරන අතර ඇතැම් දරුවන් පුටුව මත වාඩි වී සිටින්නේද ඇඳක සිටින ස්වරූපයෙන් විය හැකිය. එය අපේ දරුවන්ට ඒ අවස්ථාවට අනුව පහසුවක් ලෙස දැනුනත් මේ වැරදි ඉරියව් හේතුවෙන් ඇතැම් විට වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දීමට වුවද සිදු වනු ඇත. කුඩා දරුවන්ට සහ පෙර තරුණ අවධියේ (Teenage) දරුවන්ට වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට නම් නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.
නිවැරදි ඉරියව් තීරණය වන කරුණු
- ක්‍රියාශීලීභාවය
- වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය
- ආත්ම විශ්වාසය
- උස සහ බර
- පාසලේදී සහ ගෙදරදී වාඩිවීමට යොදාගන්නා උපකරණ
- පාසල් බෑගයේ ප්‍රමාණය සහ බර
නිවැරදි ඉරියව්ව
සාමාන්‍යයෙන් වාඩි වී සිටීමේදී සහ සිටගෙන සිටීමේදී නිවැරදි ඉරියව්ව ලෙස සලකනුයේ කන, උරහිස සහ උකුල යන කොටස් තනි කෙලින් පවත්වා ගැනීමයි. එසේම වාඩි වීමේදී නිවැරදි ඉරියව්ව පවත්වා ගැනීමට නම් දරුවා භාවිත කරන පුටුව සහ මේසය දරුවාගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන ලෙස සකස් විය යුතුය. එසේම පුටුවේ ඇන්ද දරුවාගේ උරහිස සිට උකුල දක්වා ආධාර වන ලෙස තිබිය යුතුය. දරුවාගේ ශරීරය මනාව පුටුවේ පිහිටා තිබිය යුතුය. දණහිසෙහි පිටුපස අනවශ්‍ය ලෙස තද වී නොපිහිටිය යුතුය. වාඩි වූ පසුව පාද බිම ගෑවෙන සේ පැවතිය යුතුය.
නිවැරදි ඉරියව්වෙන් වාඩි වූ පසුව දරුවා භාවිත කරන මේසය දරුවාගේ වැලමිට සන්ධිය සමඟ සමානුපාතව පැවැතිය යුතුය. මෙහිදී දරුවා අනවශ්‍ය ලෙස මේසය දෙසට නැමී සිටීම වළක්වයි. දරුවාට ඉදිරියට නැමීම අවශ්‍ය නම් උකුල් සන්ධියෙන් ඉදිරියට නැමීම කළ යුතුය. එසේ නොමැතිව උරහිස් සහ උරය ආශ්‍රිත කොදු ඇට පේළියේ නැවීම් මගින් ඉරියව් ගැටලු ඇතිවේ.
පාසල් බෑගය උරහිස් දෙකටම අයත් වන සේ පැළඳිය යුතු අතර වඩාත් බර දේවල් දරුවාගේ කොඳු ඇට පෙළට සමීප වන සේ ඇසිරීම කළ යුතුය. මෙහිදී ගුරුත්වාකර්ෂණ බලය වෙනම ක්‍රියා කිරීම නිසා දරුවා පිටුපසට වැටීම වැළැක්වීමට ඔහු ඉදිරිපසට නැමීම සිදුවේ.
විවේකය සහ ක්‍රියාකාරකම් වෙනස් කිරීම
එක තැන සිට වාඩි වී සිටින ක්‍රීඩා, රූපවාහිනිය සහ පරිගණක භාවිත කිරීම සීමා කළ යුතුය. දිගු කාලයක් එවැනි ක්‍රියාවල නිරත වූ පසු පහත ක්‍රියාකාරකම් වෙත යොමු වීම ඉතා වැදගත් වේ.
- සාමාන්‍ය ලෙස ඇවිදීම
- මාංශ පේශී ඇදීමේ ක්‍රියාකාරකම්
දරුවා පැයක් පමණ එක් තැනක සිටින ක්‍රියාකාරකමක නිරත වූයේ නම් විනාඩි පහක් පමණ විවේකයක් ලබා ගනිමින් ඇවිදීමට හෝ සුළු ව්‍යායාම කිරීමට යොමු කරන්න. විටින් විට ප්‍රතිවිරුද්ධ ඉරියව්වට මාරුවීම ඉතා වැදගත් වේ. අත් දෙක දෙපසට හා පිටුපසට විහිදුවා ඇඟ සහ හිස පිටුපසට නැමීම, මුනින් අතට නිදාගෙන හිස හා උරහිස් ප්‍රදේශය ඉහළ එසවෙන පරිදි සිටීම වැනි ක්‍රියාකාරකම් වෙත යොමු විය හැකියි. මෙමඟින් මාංශ පේශී, පේශී කන්ඩරා හා සන්ධිවල විඩාබර වීම, අනවශ්‍ය ලෙස ඇදීම සහ වේදනාවන් වළක්වා ගත හැකිය.
දිගු කාලයක් වාඩි වී සිටීමෙන් පසුව අනිවාර්යයෙන්ම ඉහත පරිදි මුනින් අතට නිදාගෙන සිටීම, සිටගෙන සිටීම හා විවේකයෙන් ඇවිදීම මගින් කොඳු ඇට පෙළ ආශ්‍රිත මාංශ පේශීන්, සන්ධි හා පේශි කන්ඩරාවලට ඇතිවන ආතතිය සමනය කරගත හැකි අතර එමඟින් දීර්ඝ කාලීනව ඇති විය හැකි ඉරියව් සම්බන්ධ ගැටලු වළක්වා ගත හැකිය.
සාමාන්‍යයෙන් දරුවකු දවසට පැය දෙකක්වත් එළිමහනේ ක්‍රියාශීලීව ක්‍රියා කළ යුතු අතර මාංශ පේශී, සන්ධි සහ පේශි කන්ඩරාවල නිරෝගී වර්ධනයට හා ක්‍රියාකාරීත්වයට එය ඉතා වැදගත් වෙයි. එමඟින් දරුවාගේ මාංශ පේශීවල ක්‍රියාකාරිත්වය සමබර වීමෙන් ඉරියව් නිවැරදිව පවත්වා ගැනීම පහසු වේ.
ඉරියව්වල ගැටලු ඇතිවීමට හේතු
- මාංශ පේශී, පේශි කන්ඩරා, සන්ධි හෝ අස්ථි ආශ්‍රිත රෝගී තත්ත්වයන් (ජානමය හෝ පසුකාලීනව ඇති වූ රෝග තත්ත්වයන් හා අනතුරු හේතුවෙන්)
- ක්‍රියාශීලීත්වය අඩුවීම
- අධික බර හෝ සම වයසේ දරුවන්ට සාපේක්ෂව උසින් වැඩිවීම
- දිගුකාලීනව වැරදි ඉරියව් පවත්වා ගැනීම
- පෝෂණ හෝ වෙනත් කරුණු හේතුවෙන් ශරීරයේ ශක්තිය අඩුවීම
දරුවන් තුළ පොදුවේ දැකිය හැකි අසාමාන්‍ය ඉරියව්
- Sway Back
- Slouch
- Lordosis
- Scoliosis
ඔබේ දරුවාගේත් පහත ලක්ෂණ තිබේද?
- නිතරම ඇතිවන කොඳු ඇට පෙළ ආශ්‍රිතව හෝ ගෙල ආශ්‍රිතව පවතින වේදනාව සහ එම වේදනාව නින්දට සහ එදිනෙදා ක්‍රියාකාරකම්වලට බාධාවක් වීම
- සෑම විටම ඉදිරියට නැමුණු ඉරියව්වක් පවත්වා ගැනීම සහ කෙලින් සිටගෙන සිටීමට අපහසු වීම
- සිටගෙන සිටීමේදී කොඳු ඇට පෙළ ආශ්‍රිතව නැමීමක් දක්නට ලැබීම
- ඉදිරියෙන් බැලූ විට උරහිස් සන්ධි එක මට්ටමේ පිහිටා නොතිබීම
- උකුල් සන්ධිය අසාමාන්‍ය ලෙස පිහිටීම
- ඇවිදීමේ අසාමාන්‍ය ඉරියව්
වැනි ඉරියව් ගැටලු දක්නට ලැබේ නම් ළඟම ඇති රජයේ රෝහලේ බාහිර රෝගී අංශය මගින් භෞත චිකිත්සක අංශය වෙත යොමු වන්න. සැමවිටම ඉගෙනුම් කටයුතුවල යෙදෙන ඔබේ දරුවාගේ ඉරියව් නිවැරදි කිරීමට කල්පනාකාරී වන්න.
එස්. පී. කසුනි චන්දිමා
ජ්‍යෙෂ්ඨ භෞත චිකිත්සක
රිජ්වේ ආර්යා ළමා රෝහල



