නිරෝගී දරු සම්පතක් යනු සෑම මව්පියන් යුවළකගේම ඒකායන ප්‍රාර්ථනාවයි. නමුත් නිරෝගීව මෙලොවට බිහිවුණු තම දරුවා, වසරක දෙකක කාලයක් හොඳින් වර්ධනය වූ දරුවා, හිටි හැටියේම තමාගේ සියලු ක්‍රියාකාරකම් නවතා දමා තනිව සිටිමින් වෙනස් ආකාරයේ ගති පැවතුම් පෙන්නුම් කිරීමට පටන් ගතහොත් එය කුමක් නිසාද යන්න කිසිම මවකට හෝ පියෙකුට අදහා ගත නොහැකි වනු ඇත. ඒ ඔටිසම් තත්ත්වය යැයි වෛද්‍යවරු පැවසුවත් එම තීරණය පිළිගැනීමට අකමැත්තෙන් සිටින මව්පියන් සිටිය හැක.
ප්‍රශ්නය
ඔටිසම් තත්ත්වය කියන්නේ මොකක්ද?
ළමාවියේ ඇතිවන ස්නායු වර්ධනයේ ගැටලුකාරී තත්ත්වයක් ඔටිසම් නමින් හඳුන්වනවා. එනම් ළදරුවියේ සිටම මොළයේ සංවර්ධනයේදී ස්නායු ජාලාවල පරිණත වීමේ ගැටලුකාරී තත්ත්ව මත ඇති වන සංවර්ධනයේ අඩුපාඩුවක් ලෙස හැඳින්විය හැකියි. මේ තත්ත්වයේදී දරුවෙක් උපත ලබා පළමු, දෙවන අවුරුද්ද වන තෙක් ඉතාම සාමාන්‍ය දරුවෙකුගේ වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉන්පසුව දරුවාට මුහුණදීමට සිදුවන එක් එක් කඩඉම් පසු කරද්දී යම් යම් දුර්වලතා පෙන්නුම් කිරීමට පටන්ගන්නවා. මේ දුර්වලතා අංශ තුනක් යටතේ වර්ග කළ හැකියි. එනම්,
- සන්නිවේදනය ආශ්‍රිත ක්‍රියාකාරකම්
- අන්තර්ක්‍රියා ආශ්‍රිත ක්‍රියාකාරකම්
- විවිධ චර්යා ආශ්‍රිත ක්‍රියාකාරකම්
බොහෝවිට මෙම තත්ත්වය දෙමාපියන්ට මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම අපහසු විය හැකියි. නමුත් මෙහිදී දරුවාගේ තත්ත්වය කල් තියා හඳුනා ගත හැකි වීම ඉතා වැදගත් වනු ඇත.
ප්‍රශ්නය
ඔටිසම් තත්ත්වයේ සිටින දරුවෙකු පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?
ඔටිසම් තත්ත්ව කල් තියා හඳුනා ගැනීම ප්‍රතිකාර කිරීමට පහසුව සලසයි. ඒ නිසා දරුවාගේ වර්ධන සටහන්පත කෙරේ වැඩි අවධානයකින් යුතුව පරීක්ෂා කිරීම වැදගත්ය. එය එසේ වුවත් දරුවන්ගේ විවිධාකාර හැසිරීම් රටා වෙනත් දරුවන් සමග සංසන්දනය කරමින් ගැටලු නිර්මාණය කර ගැනීම කිසිසේත්ම නොකළ යුත්තකි. ඔබට සැකයක් ඇත්නම් වෛද්‍යවරයෙකු හමු වී තත්ත්වය නිරාකරණය කරගත හැකිය.
දරුවෙකු ඔටිසම් තත්ත්වයට පත්වීමට පෙර ඒ දරුවා සාමාන්‍ය ආකාරයට වර්ධනය වූ දරුවෙක්. නමුත්,
- පෙර කළ කී දේ මේ වන විට කිරීමට නොහැකි වීම
- අහේතුකව එකම කාර්යයක නිතර නිතර යෙදීම
- තනිව සිටීමට වැඩි කැමැත්තක් දැක්වීම
- දෑස් දෙස බලා ප්‍රතිචාර නොදැක්වීම
- අවධානය අඩු වීම
- තමාගේ වටපිටාවේ වෙනසක් සිදු වුවහොත් අධික ලෙස ආවේගශීලී වීම
මෙවැනි ලක්ෂණ දරුවා තුළින් දකිනවා නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ඉතාම වැදගත් වෙනවා. ඕනෑම රජයේ රෝහලක ළමා මනෝ වෛද්‍ය සායනය හරහා ඔබට උපදෙස් ලබාගත හැකියි.
ප්‍රශ්නය
ඔටිසම් තත්ත්වය සඳහා ප්‍රතිකාර සිදු කරන්නේ ළමා මනෝවෛද්‍යවරු පමණද?
නැහැ. ඔටිසම් තත්ත්වයේ සිටින දරුවෙකුට ප්‍රතිකාර කිරීමේදී ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයන් සම්බන්ධ වෙනවා. එහිදී ළමා මනෝ වෛද්‍ය විශේෂඥවරුන් වගේම ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්, කථන හා භාෂා චිකිත්සකවරුන්, වෘත්තීය චිකිත්සකවරුන්, භෞත චිකිත්සකවරුන්, අධ්‍යාපන චිකිත්සාව හා සම්බන්ධ වෘත්තිකයන් මෙන්ම මනෝ උපදේශනයට සම්බන්ධ වෘත්තිකයන් ද සම්බන්ධ විය හැකියි. ඔටිසම් තත්ත්වය දරුවෙකුගේ මුළු ජීවිත කාලයටම බලපෑ හැකි තත්ත්වයක් නිසා නිසි පුහුණුවක් සහිත පළපුරුදු වෘත්තිකයන්ගේ සේවය ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.
ඔටිසම් තත්ත්වයේ සිටින තවත් දරුවෙකුට ලබා දෙන ප්‍රතිකාර දැක හෝ අසා තවත් දරුවෙකුට සිදු කිරීම කිසිසේත්ම උචිත නොවන අතරම එක් එක් දරුවාට ලබාදෙන ප්‍රතිකාර මෙන්ම ක්‍රියාකාරකම්ද දරුවාගෙන් දරුවාට වෙනස් වනු ඇත. මේ තත්ත්වයේදී දරුවාගේ පවුලට මෙන්ම අප සමාජයටත් යම් වගකීමක් පැවරෙනවා. එවැනි දරුවන් කොන් කිරීම, පිළිකුල් කිරීම කිසිසේත්ම සිදු නොවිය යුත්තකි.
ප්‍රශ්නය
ඔටිසම් තත්ත්වයේ සිටින දරුවෙකුට ලබා දෙන ප්‍රතිකාර මොනවාද?
දරුවාගේ තත්ත්වය අනුව එක් එක් දරුවාට ලබා දෙන ප්‍රතිකාර මෙන්ම ක්‍රියාකාරකම් ද වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයේ සිටින දරුවෙකු සතියකට පැය 30 පමණ අවම කාලයක්වත් චිකිත්සා ක්‍රම වෙත යොමු වීම වැදගත්. දරුවා ඒ සඳහා යොමු කිරීමේ වගකීම පවුලට පැවරෙනවා.
ප්‍රශ්නය
දරුවෙක් චිකිත්සා වෙත යොමු කළ යුත්තේ වයස අවුරුදු කීයක් සම්පූර්ණ වූ පසුවද?
නිශ්චිත වයසක් නම් කළ නොහැකියි. ඉහත සඳහන් කළ ඕටිසම් ලක්ෂණ දරුවා තුළ මව්පියන් නිරීක්ෂණය කළහොත් වෛද්‍යවරයෙක් කරා යොමු වී උපදෙස් ලබාගැනීමට ඔබට හැකියි. එහිදී දරුවාගේ සංවර්ධනය කළ යුතු තත්ත්ව කෙරේ වෛද්‍ය අවධානය යොමු කරමින් අදාළ චිකිත්සාවන් වෙත යොමු කිරීම සිදු කරනු ඇත. උදාහරණ ලෙස දෑස් දෙස බලා කතා නොකිරීම, අවධානය යොමු නොකිරීම, ආවේගශීලී වීම වැනි තත්ත්වයන් විසඳා ගැනීම වැදගත් වෙනවා.
ප්‍රශ්නය
ඔටිසම් දරුවන්ට මෙම ක්‍රියාකාරකම් සිදු කරන්නේ තනි තනිවද, නැතිනම් කණ්ඩායමක් ලෙසද?
සාමාන්‍යයෙන් දරුවෙකු සමූහ චිකිත්සාවට යොමු කිරීමට නම් ඒ දරුවා තනිව ගෙන ඉහත දැක්වූ තත්ත්වයන් සංවර්ධනය කරගැනීම සිදු කළ යුතුයි. සාමාන්‍යයෙන් අපේ රට තුළ සමූහ චිකිත්සාවට යොමු කිරීමේ ප්‍රවණතාවය අඩුයි. මොකද එතැනදී තමන්ගේ දරුවාට විශේෂ අවධානයක් නොලැබෙන බවට මව්පියන් සිතනවා. නමුත් මෙවැනි තත්ත්වයේ දරුවෙකු සමූහ චිකිත්සාවට යොමු වීමේදී වාසි බොහොමයක් ඇති වෙනවා. සමූහ චිකිත්සාව ලොව දියුණු රටවල් බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගන්නා නමුත් අපේ රට තුළ ඉතාම අඩුයි. දරුවාට තනිව සිදු කරන ප්‍රතිකාර ක්‍රම කරගෙන යන අතරේම සමූහයක් අතරත් සංවර්ධනය වීමට දරුවාට අවස්ථාව ලබා දීම තුළින් දරුවා සමාජ ගත වීමේදී බොහෝ සෙයින් ඒ අත්දැකීම් වැදගත් විය හැකියි.
ප්‍රශ්නය
ඔටිසම් දරුවන්ට ලබා දෙන චිකිත්සාවන් මොනවාද?
සාමාන්‍ය ජීවන රටාවක් සඳහා දරුවා හුරු කිරීමට අද වන විට බොහෝ චිකිත්සා ක්‍රම හරහා ඔටිසම් දරුවන්ගේ ජීවන රටාව සංවර්ධනය කිරීමට උත්සාහ ගන්නවා.
භෞත චිකිත්සාව
ස්නායු උත්තේජන ව්‍යායාම, ඉරියව් ගත කිරීම්, උරස් චිකිත්සක ප්‍රතිකාර, සමබරතා ව්‍යායාම, සමායෝජන ව්‍යායාම යන ඒවා දැක්විය හැකිය.
කථන චිකිත්සාව
ඔටිසම් දරුවන්ගේ කතාව, භාෂාව හා සන්නිවේදනය ආශ්‍රිත ගැටලු සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය චිකිත්සක ක්‍රම සිදු කිරීමයි.
වෘත්තීය චිකිත්සාව
ඔටිසම් දරුවා එදිනෙදා ජීවිතයේදී ස්වාධීන පුද්ගලයකු කිරීමට අවශ්‍ය ජීවන කුසලතා (ආහාර ගැනීම, ඇඳුම් ඇඳ ගැනීම, වැසිකිළි භාවිතය), සියුම් සහ දළ චාලක කුසලතා, සංවේදන ගැටලු සංවර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙමින් දරුවා සාර්ථක ලෙස සමාජ ගත කිරීමට අවශ්‍ය චිකිත්සාව සිදු කරයි.
සංවේදන චිකිත්සාව
ඔටිසම් දරුවන්ට විවිධ රස, ශබ්ද, ආලෝකය, ස්පර්ශය වැනි සංවේදන ආශ්‍රිත ගැටලු ඇති අතර ඔවුන් මේවාට වැඩි හෝ අඩු වශයෙන් සංවේදී වන නිසා ඒවායින් දුරස් වීම හෝ අධිකව සමීප වීම දැකිය හැකිය. සංවේදන චිකිත්සාවේදී එම තත්ත්වයන් නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා දරුවාට ආදේශකයන් හඳුන්වා දීම සිදු කරයි.
අධ්‍යාපන චිකිත්සාව
ඔටිසම් දරුවන්ට සාමාන්‍ය දරුවන් මෙන් ඉගෙනීම සහ පන්ති කාමරයට හුරු වීම අභියෝගයක් වන අතරම අධ්‍යාපන චිකිත්සාව හරහා ඔටිසම් දරුවන් මේ තත්ත්වයෙන් මුදවා ගැනීමටත්, අකුරු ඉලක්කම් හඳුන්වා දීම, ඇස අත සමායෝජනය, පැන්සල ඇල්ලීම, ලිවීම වැනි ක්‍රියාකාරකම් වෙත දරුවාගේ තත්ත්වය මත යොමු කිරීමත් හුරු කිරීමත් සිදු කෙරේ.
චර්යාත්මක ප්‍රතිකාර
ඔටිසම් දරුවන් විවිධ වූ චර්යාත්මක ගැටලු බොහොමයක් සහිත දරුවන් වන නිසා චර්යාත්මක ප්‍රතිකාර තුළින් දරුවා නිසි ලෙස හැඩ ගැස්සවීම සිදු කරනු ලබයි.
මව්පියන්ට සහ සමාජයට පණිවිඩයක්
ඔටිසම් යනු මව්පියන් බොහෝ සෙයින් අසරණ තත්ත්වයට පත්කරන තත්ත්වයක් වුවත් එයට මුහුණ දීමට ධෛර්යය හා ශක්තිය එයින් පීඩා විඳින දරුවෙකුගේ මව්පියන් සතු විය යුතුමය. ඔබ එවන් මවක් හෝ පියෙක් නම් පළමුව දරුවාගේ තත්ත්වයට මුහුණ දීමට එකඟ විය යුතුමය. එසේ නොවන්නට ඔබේ දරුවා අසරණ තත්ත්වයට පත්වනු ඇත. දරුවාගේ ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් එතැන් පටන් මව්පියන් වශයෙන් ඔබ අවශ්‍ය සියලු යුතුකම් ඉටු කිරීමට ධෛර්යවන්ත විය යුතුමය.
ඔබේ දරුවා ඔටිසම් තත්ත්වයේ සිටින නිසා ඔහු/ඇය නිවසට සිර කර නොතැබිය යුතුය. දරුවා සමාජයට රැගෙන යා යුතුයි. එය ඔබට දුකක් වුවත් ලැජ්ජාවක් නොවිය යුතුය. ඔබේ දරුවාගේ අයිතිවාසිකම් සුරැකීම ඔබේ වගකීමක් බව අමතක නොකරන්න. ප්‍රතිකාර සහ චිකිත්සා ක්‍රම අඛණ්ඩව සිදු කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි මට්ටමට ඔබේ දරුවා සංවර්ධනය කිරීමට මව්පියන් ලෙස ඔබ ඇප කැප විය යුතුය.
සමාජයක් ලෙස අප
මේ ලිපිය කියවන ඔබත් එවැනි දරුවන් පිළිකුල් කිරීම හෝ කොන් කිරීම සිදු නොකළ යුතු බව තරයේ සිහි තබා ගන්න. ඔටිසම් දරුවාත් ඔබේ සාමාන්‍ය දරුවා මෙන්ම ජීවත් වීමේ සම අයිතිය ඇති දරුවෙකු බැවින් ඔවුන් ද යම් දිනක ඔවුන්ගේ ලොව ජය ගත යුතුමය. ඒ නිසාම සමාජයක් ලෙස අප එවැනි දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ට සහය වීම යුතුකමකි. සහය නොවූවද ඔවුන්ට අපහාස කිරීම හෝ කොන් කිරීම නොකර සිටීමම සහයෝගයක් බව සිහි තබා ගන්න. ඔටිසම් දරුවාටද අනෙක් දරුවන්ට මෙන්ම අයිතීන් ඇති අතරම, අප එම අයිතීන් රැක දිය යුතු බව සමාජයක් ලෙස සිහි තබා ගනිමු.
ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා
භෞත චිකිත්සක අධිකාරී
රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ



