අධ්‍යාපනය

නිර්මාණශීලී ඉගෙනුම් කලාව දරුවාගේ ජීවිත සාර්ථකත්වය වැදගත් කුමක් නිසාද?

2025-07-01මිනිත්තු 6
Why Is Creative Learning Important for Your Child's Success?
“මේ අවුරුද්දේ විභාගේ නිසා පුතා සෙල්ලම නතර කරලා පාඩම් කරන්න...”

බොහොමයක් අම්මලා දරුවන්ට දෙන උපදෙසක් තමයි ඒ. සාමාන්‍යයෙන් දරුවෙකුගේ ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ ශරීරයේ සංවර්ධනය වගේම මොළයේ සංවර්ධනයත් මුල් කරගෙනයි. දරුවෙක් වර්ධනය වන විට යම් යම් දේ සිදු කිරීම කොයි ආකාරයෙන් විය යුතුද යන්න ගැන දැනුවත්ව සිටීමට නම් දරුවා ක්‍රියාත්මක විය යුතුමයි. එය දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද එසේමය.

“බාහිර ක්‍රියාකාරකම්” නොව — විෂය සමගාමී ක්‍රියාකාරකම්

සාමාන්‍යයෙන් පාසල් යන වයසේ දරුවෙකුට තම කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව හිමි වන්නේ කොයිතරම් දුරට දරුවාගේ කැමැත්ත මත ක්‍රියාකාරකම්වල නියුක්ත වීමට ඉඩ ලැබෙනවාද යන කරුණ මතයි. බොහෝ විට අප සමාජය තුළ එවැනි ක්‍රියාකාරකම් හඳුන්වන්නේ බාහිර ක්‍රියාකාරකම් ලෙස වුවත් එය සම්පූර්ණයෙන්ම වැරදි භාවිතයක් ලෙස කිව යුතුමය. එනම් දරුවන් යොමු වන ක්‍රියාකාරකම් විෂය සමගාමී ක්‍රියාකාරකම් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි වේ. එනම් දරුවන් නිරත වන ක්‍රියාකාරකම් ඔවුන්ගේ අධ්‍යාපනය හා සමගාමී ක්‍රියාකාරකම් බැවින් ඒවා විෂය සමගාමී ක්‍රියාකාරකම් ලෙස හඳුන්වයි.

සාමාන්‍යයෙන් තම කටයුතු සොයා බලා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන වටපිටාවක් දරුවන් වෙනුවෙන් සකසා දීම අත්‍යවශ්‍ය වනු ඇත. දරුවෙකු වර්ධනය වීම සිදුවන්නේ ඒ විමසිලිමත් බවින් වන අතරම ඒ විමසිලිමත් බව සඳහා දරුවෙකුට සෙල්ලම, කලා කටයුතු, තාක්ෂණික කටයුතු අත්‍යවශ්‍යයි. උදාහරණ ලෙස ලෙගෝ, ජලය, මඩ සමග සිදු කරන ක්‍රීඩා හැඳින්විය හැකියි. මේවා දරුවෙකු සම්පූර්ණයෙන්ම මානසිකව වර්ධනය වන මෙවලම් වන අතරම තමා යම් තත්ත්වයකට මුහුණ දුන්නොත් එහිදී හැසිරිය යුතු ආකාරය, පරාජයකදී මුහුණ දිය යුතු ආකාරය මෙන්ම තමා යළි නැගිටින්නේ කෙසේද යන ආකාරය දරුවා විසින්ම තීන්දු කළ යුතුයි. දරුවාගේ විෂය හෝ අධ්‍යාපනය සමගාමීව සිදු කරන ක්‍රියාකාරකම්වල වටිනාකම ඉස්මතු වන්නේ එවැනි තත්ත්වයන්හිදීය.

දරුවා බුද්ධි ඵලයක් පමණක් නොවේ

අද වන විට අපේ රට තුළ අධ්‍යාපන ක්‍රමය වැඩි වශයෙන් බැඳී ඇත්තේ විෂය කරුණු මතය. නමුත් දරුවා යනු බුද්ධි ඵලයම පමණක් නොවන බව දෙමාපියන් වටහා ගත යුතුය. දරුවෙකුගේ චිත්තවේග, සමාජ හැසිරීම්, ආත්ම සංකල්පනාව, පරිසරය පිළිබඳව දරුවා තුළ ඇති සංකල්පනාව යන සියලු දේ නොසලකා හැර දරුවෙකුගේ බුද්ධි ඵලය කෙරේ පමණක් අවධානය යොමු කර විභාග පමණක් මූලික කරගනිමින් අනෙක් සියලු ක්‍රියාකාරකම් බාහිර ක්‍රියාකාරකම් ලෙස හඳුන්වා දුරස් කිරීම මගින් සිදුවන්නේ අසම්පූර්ණ දරුවෙකු බිහි වීමයි. එයින් දරුවා එක් තරගකාරී ස්ථානයකට පමණක් කොටු වනු ඇත. එවිට දරුවාට තමා, තමාගේ චිත්තවේග, සමාජය ඇතුළු තවත් බොහෝ සාධක නොපෙනී යනු ඇත. හුදකලා වූ කෝවක් තුළ දරුවා රඳවා ඇත. එනම් නිෂ්ක්‍රීයව තමන් වෙත පැටවෙන දේ පමණක් ගන්නා පුද්ගලයෙකු බවට පත් කිරීමයි. දරුවෙකුගේ මොළයේ වර්ධනය යනු තමා සිතා තීන්දු ගැනීමයි. අද වන විට වැඩිහිටියන් වගේම වර්තමාන අධ්‍යාපන රටාවත් දරුවාට තමන්ගේම තීරකයා වීමට ඇති අවස්ථා වළක්වා තිබේ. එතැනදී පැන නගින ගැටලුව නම් දරුවා ඒ තුළින් ඉදිරියේදී වර්ධනය වෙන්නේ කුමන ආකාරයේ පුද්ගලයෙක් වශයෙන්ද යන්නයි. දරුවෙකුගේ සමස්ත වර්ධනය උදෙසා අධ්‍යාපනික පරිසරය තුළ කලාව, සෙල්ලම ඇතුළු අධ්‍යාපනයට සමගාමී ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය බව දෙමාපියන් ලෙස අප දැනගත යුතුය.

නිර්මාණශීලී ඉගැන්වීමේ උදාහරණ

උදාහරණයක් ලෙස කතන්දර කලාව ගතහොත් අද වන විට භාවිතය අවම වුවත් ඒ හරහා ගණිතය, විද්‍යාව වැනි විෂයයන් පිළිබඳව දැනුම දරුවන්ට ලබා දිය හැකියි. ඒ වගේම ඒ හරහා චරිත ගැටෙන්නේ කොහොමද? ඒ චරිත හැසිරෙන්නේ කොහොමද? ඒ චරිතවල අවශ්‍යතා මොනවාද? අපේක්ෂා ඉටු කරගැනීමට යාමේදී මුහුණු දීමට සිදුවිය හැකි සිදුවීම් මොනවාද? යන දේ දරුවාට අවබෝධ කර ගත හැකියි.

සෙල්ලම ගතහොත් දරුවන්ගේ චාලක හැකියාව හරහා එනම් දිවීම, පැනීම, නර්තනය වැනි ක්‍රියාකාරකම් තුළ දරුවෙකුගේ ස්වයං ප්‍රකාශනය එනම් තමන්ට දැනෙන දේ ප්‍රකාශ කිරීමට ඇති හැකියාව ගොඩනැගීම සිදු වෙනවා. තමාට දැනෙන දේ, තම චිත්තවේග, තම හැසිරීම, තම වටපිටාවේ හැසිරීම හඳුනා ගැනීමට හැකියාව ඇත්තේ ප්‍රකෘති ජීවියාට පමණි. අවාසනාවකට වර්තමාන අධ්‍යාපන ක්‍රමය හරහා විද්‍යාත්මකව ප්‍රකෘති එසේත් නැතිනම් ස්වාභාවික ජීවියාව අස්වාභාවික තලයකට පත්වීම සිදු වනු ඇත.

අන්න එතැනදී දෙමාපියන් සතු වගකීම සුළුපටු නොවන අතරම එහිදී දරුවා සහ දෙමව්පියන් නිර්මාණශීලී වීම අත්‍යවශ්‍ය වනු ඇත. මේ සඳහා ඉතා හොඳ උදාහරණයක් ලෙස ස්වාභාවික පරිසරය හා දරුවා අතර ඇති සම්බන්ධය ගොඩනැගීම දැක්විය හැකියි. එහිදී ස්වාභාවික පරිසරය ඇසුරු කරමින් ජීව විද්‍යාව, අංක ගණිතය, භාෂාව දරුවාට ඉගැන්විය හැකියි. ඒ, කතන්දරය හෝ ගණිතය නිර්මාණය වෙන්නේ ස්වාභාවික පරිසරය තුළින් නිසයි.

පන්ති කාමරයෙන් ස්වාභාවික පරිසරයට

අද වන විට පන්ති කාමරය තුළ කොටු වන දරුවා ස්වාභාවික පරිසරයෙන් දුරස් වෙනවා. දරුවෙක් පන්ති කාමරය තුළ කොටු වීම, සිර කූඩුවක දැම්මා හා සමාන කළ හැකියි. උදාහරණයක් ලෙස චිත්‍ර පන්තියක් ගත් විට දරුවා ස්වාභාවධර්මයට නිරාවරණය කර පත්තෑයෙකුගේ කකුල් සියයක් බලලා අඳින්න පැවරුවොත් දරුවා එය පරීක්ෂා කර සොයා බැලීම විද්‍යාත්මක වුවත් පන්ති කාමරය තුළ පත්තෑයාට කකුල් සියයක් තිබේ යැයි ඉගැන්වීම හරහා දරුවාට ප්‍රායෝගික අත්දැකීමක් එක් කරන්නේ නැත. පන්ති කාමරවලට දරුවන් කොටු කිරීම මගින් විෂයයන් ජීවිතයෙන් පරිබාහිර දෙයක් බවට පත් කොට තිබෙනවා. අන්න ඒ නිසාම අද වන විට දරුවන් මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට නම් දෙමව්පියන් සහ ගුරුවරු නිර්මාණශීලී විය යුතුමයි.

තවත් උදාහරණයක් ලෙස චිත්‍ර විෂයේදී ගහක කොළ, කොළ පාටින් පාට කරන්නට දරුවාට අපි කියා දෙනවා. නමුත් එතැනදී ගහේ කොළ, කොළ පාට වීමට හේතුව පහදා දීම තුළින් දරුවාට ප්‍රභාසංස්ලේෂණය සම්බන්ධව පාඩම අවබෝධ කළ හැකියි. ඒ හරහා වයස අවුරුදු 10 පමණ වන දරුවන්ට ගස් සහ කොළ හිරු රශ්මියෙන් වෙන් වූ දෙයක් නොවන බවත්, ඒ හිරු එළියෙන් ලබාදෙන වටිනා දේ තුළින් ගස්වල කොළ, කොළ පැහැයට හැරෙන බවත් යන විද්‍යාව පාඩම ප්‍රායෝගිකව ලබා දිය හැකියි. මෙවැනි ක්‍රියාකාරකම් ප්‍රාථමික අංශයේ දරුවන් සමග සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා සේම මෙවැනි ක්‍රියාකාරකම් වෙත අපේ ගුරුවරුන්ගේ අවධානය යොමු විය යුතුයි.

අපි ගස් වවමු කියා කුමක් හෝ බීජයක් හිටවනවාට වඩා, උදාහරණයක් ලෙස අඹ බීජයක් ගතහොත් එය විශාල වනාන්තරයක මූල බීජය වන බව දරුවන්ට පැහැදිලි කරමින් ගස් සිටුවීම සිදු කළ හැකියි. ඒ වගේම ශාක අපේ දේශගුණය තුලනය කරන්න හේතු වන බව, පසේ කෘමීන් නිෂ්පාදනය වන ආකාරය, කෘමීන් පස පෙරලන ආකාරය වැනි දේ පිළිබඳව දරුවන් දැනුවත් කිරීම ඉතා වැදගත් වන අතරම ඒ හරහා විෂයයන්ගෙන් දුරස් නොවී ඒවා විෂයයන්ටම අදාළ දේවල් ලෙස දකින්නට දරුවා හුරු වනු ඇත. එවිට දරුවන්ට පරිසරය සුරැකිය යුතුයි යන පණිවිඩය අමුතුවෙන් ලබා දිය යුතු ද නැත.

තවත් උදාහරණයක් ලෙස සමක ආසන්න රටක් විදියට අපේ රටේ සහ ඒ ආසන්න තවත් රටවල්වලත් ගස් වැවෙන්නේ එකම රටාවකට — එසේ සිදුවන්නේ කෙසේද? එවැනි රටවල මිනිස් හැසිරීම් කෙබඳුද? වැනි දේ දරුවාට අවබෝධ කළ යුතුයි.

දරුවා යනු විද්‍යාත්මක ජීවියෙකි

මනුෂ්‍ය දරුවා යනු විද්‍යාත්මක ජීවියෙකි. ඒ, දරුවන්ටම කියා සිතුවිලි පද්ධතියක්, අස්ථි පද්ධතියක් තිබීම, යම් යම් සිදුවීම්වලදී තමාටම විද්‍යාත්මකව ක්‍රියාත්මක විය හැකි වීම, පරිකල්පනය යොදවමින් නිර්මාණශීලී වෙමින් තමන්ගේම ජීවිතය ගොඩනඟා ගැනීමේ ක්‍රියාවලියේ යෙදෙන්නට හැකි නිසයි. ඒ වගේම තම ජීවිතය වඩා හොඳ තත්ත්වයෙන් ගතකිරීමට අවශ්‍ය දේවල් තමාටම සැලසුම් කරගන්නට හැකි වීම නිසයි. නමුත් අපේ දරුවන්ගේ එම විද්‍යාත්මක බව දරුවා තුළින් දැකීමට දෙමාපියන්, වැඩිහිටියන් ලෙස අප උත්සාහ කර නොතිබීම ඛේදනීය තත්ත්වයකි. අපේ දරුවන් විෂයයන් සමග හුදකලා නොකොට විද්‍යාත්මකව සිතන, විද්‍යාත්මක ප්‍රකෘති ජීවියෙක් බවට පත් කිරීමේ වගකීම පැවරෙන්නේ දෙමාපියන් සහ ගුරුවරුන් වන අපට බව අමතක නොකළ යුතුය.

ආචාර්ය රවීන්ද්‍ර රණසිංහ

මනෝ චිකිත්සක

අදාළ ලිපි